You are currently viewing ධෛර්යයේ උල්පත , ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහ

ධෛර්යයේ උල්පත , ආසියාවේ කළු වෙළඹ සුසන්තිකා ජයසිංහ

2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙල යනු සුවහසක් වූ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටි ඔලිම්පික් උළෙලකි . මන්ද එහි 200m ධාවන තරඟාවලියට ශ්‍රී ලාංකීය ජවසම්පන්න තරුණ ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ සහභාගී වී සිටි නිසාවෙනි. එදින වසර 52ක්  පුරාවට ඔලිම්පික් පදක්කම් පිපාසාවෙන් පෙළුණු සුවහසක් ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ හදෙහි ජය ඝෝෂා නංවන්නට සුසන්තිකා ජයසිංහ සමත් වූයේ 200m ඔලිම්පික් රිදී පදක්කමට උරුමකම් කියාපාමිණි . ඒ සමගම ඇය ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩා වංශකතාවේ ඔලිම්පික් කිරුළ ලැබූ ප්‍රථම ක්‍රීඩිකාව ලෙස තම නාමය සනිටුහන් කර ගැනීමට සමත් වුණා .

මෙසේ තම දස්කම් පෑ සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයෙහි ඔසවා තැබීම වෙනුවෙන් ගමන් කළ ගමන් මග කිසිසේත්ම පහසු එකක් වුයේ නැත . ඇය නගරයෙන් බොහෝ ඈත පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ උඩුවක ග්‍රාමයේ අතිශය සාමාන්‍ය පවුලක ලාබාලතම සාමාජිකාව වූවාය . එසමයෙහි පවුලෙහි පැවති ආර්ථික දුෂ්කරතා මෙන්ම ක්‍රීඩාව කෙරෙහි වූ පූර්ණ කාලීන කැපවීම මත ඇයට අධ්‍යාපනයෙන් ඒ තරම් දුර යා නොහැකි වුවද ඇය එම හිඩැස සම්පූර්ණ කරගැනීමට ක්‍රීඩාව තුළින් ඉදිරියටම ගමන් කළාය. සුවහසක් වූ ආර්ථික දුෂ්කරතාවන් මධ්‍යයේ තම මව්තුමියගේ ධෛර්යවන්ත වූත් සෙනෙහෙවන්ත වූත් දෑතින් සැකසුණු කොස්,පොළොස්, තරුණ සුසන්තිකාගේ ජවය වඩන්නට සමත් වුණා .

උඩුවක කනිෂ්ඨ විද්‍යාලයෙන් අකුරු කිරීම ආරම්භ කළ සුසන්තිකා ජයසිංහ ප්‍රාථමික අධ්‍යාපනය නිමාකර ඇත්නාවල මහා විද්‍යාලයෙහි වැඩි දුර අධ්‍යාපනයට යොමු වුවාය . පාසලේදී ද කුඩා කළ සිටම ක්‍රීඩාවට නිරායාසයෙන් ඇය යොමු වූයේ සහජයෙන්ම උරුම වූ අසාමාන්‍ය ශක්තියත් , දරාගැනීමේ හැකියාවත් නිසාවෙනි. පාසලේදී ආරම්භ කළ ක්‍රීඩා ගමන් මගෙහි ඊළඟ සන්ධිස්ථානය බවට පත් වූයේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ 200m පළමු ස්ථානය ලබා ගැනීමයි . එම ජයග්‍රහණයත් සමගම යම්කිසි ජනප්‍රියත්වයක් ලබමින් සුසන්තිකා ජයසිංහ නිවැරදි පුහුණුකාරීත්වයක් යටතේ ක්‍රීඩා ක්ෂේත්‍රයෙහි ඉදිරියටම යාමට පටන් ගත්තාය . ඇයගේ එකම අධිෂ්ඨානය වූයේ ක්‍රීඩා ක්ෂේත්රය ඔස්සේ ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයෙහි රැඳවීම යි .

1994 වසරේ දී ජපානයේ හිරෝෂිමාහි පැවැති ආසියාතික ක්‍රීඩා උළෙලෙහි දෙවන ස්ථානයද , 1995 වසරේ ජකර්තා ආසියානු ශුරතාවලියෙහි 100m රිදී පදක්කමද , 1997 වසරේ දී ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා තරඟාවලියේ දී 200m ධාවන තරඟයෙහි රිදී පදක්කමද ලබා ගත් ඇය ලොව මලල ක්‍රීඩා ලෝලීන්ගේ ඇස් ඇය වෙත යොමු කරවා ගැනීමට සමත් වුවාය . නිසියාකාරව ලැබූ පුහුණුවත් , ඇයගේ සූක්ෂම ක්‍රීඩා අධ්‍යනයනුත් , දැඩි ආත්ම විශ්වාසයත් මෙම සුවිශාල ජයග්‍රහණයන් ඇය වෙත ළඟා කරදීමට සමත් විය. ඇයගේ ක්‍රීඩා දිවියට පැමිණි බාධක කම්කටොලු හැලහැප්පීම් තම ජයග්‍රහණයන් කරා පන්නරයක් කරගනිමින් ඇය 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ 200m කාන්තා ධාවන තරඟයෙන් රිදී පදක්කම ලබා ගනිමින් ලක් මාතාවගේ නාමය ජාත්‍යන්තරයෙහි රැඳවීමට ඇයගේ තිබූ අධිෂ්ඨානය මුදුන්පත් කරගැනීමට සමත් වූවාය .

ඔලිම්පික් තරඟ ජයග්‍රහණයෙන් අනතුරුවද රට වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ රාශියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහ 2008 වසරේදී ක්‍රීඩාවට සමු දුන්නද අද දක්වා ලාංකීය මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නා වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවකි . සුවිශේෂිතම කරුණ නම් 2008 වසරේ ක්‍රීඩා දිවිය අවසන් කරන මොහොතේදීද ලොව පළමු පෙළ කෙටි දුර ධාවන ශූරයන් 16 දෙනා අතර රැඳෙන්නට ඇය සමත් වීමයි . පොල් අතු සෙවිලි කල නිවසේ සිට තම ක්‍රීඩා දිවිය ආරම්භ කළ සුසන්තිකා ජයසිංහ අභියෝග මැදින් ආ දුෂ්කර ගමනේ ජයග්‍රාහී ප්‍රථිපල සමගින් අද තම ගෙල අභිමානවත් වූ ඔලිම්පික් ලාංඡනයෙන් සරසාගෙන සුසන්තිකා ජයසිංහ නාමය සන්නාමයක් බවට පත් කර ගැනීමට සමත් වී ඇත .

~Rtr. සහනි යසාරා සමරසිරිවර්ධන

Team I – FeMale. Rota Tomorrow

Leave a Reply