You are currently viewing රටක සංවර්ධනයේ මූලික පියවරය

රටක සංවර්ධනයේ මූලික පියවරය

සෑම වසරකම ජනවාරි මස 24 වන දින ‘ලෝක අධ්‍යාපන දිනය‘ (World Education Day) සමරනු ලබන අතර, එදින ලොව පුරාම අධ්‍යාපනයේ වැදගත්කම සම්බන්ධව අවධානය යොමු කරනු ලබයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන ආකාරයට, ලෝකයේ සංවර්ධිත රටවල් ලෙස සලකන කලාප වල අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදන තරමක ඉහළ මට්ටමක පවතින අතර, සංවර්ධනය වෙමින් පවතින කලාපවල මෙය තරමක් පහළ මට්ටමක පවතී. අප රට වන ශ්‍රී ලංකාව ද මෙම දෙවන කාණ්ඩයට අයිති වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෙහෙයවන ‘2030 සඳහා වූ තිරසර සංවර්ධන ඉලක්ක’ (Sustainable Development Goals for 2030) 17 අතරින් සිව්වන ඉලක්කය නම් සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනය ලබාදීමයි. (Quality Education for All)

ශ්‍රී ලංකාව සලකන විට මෙම මොහොතේ අප මුහුණදෙමින් සිටින ආර්ථික, සමාජයීය හා දේශපාලනික අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත්තේ අප රටේ පවතින අධ්‍යාපන ක්‍රමය මගින් රටට වැඩදායි පුද්ගලයන් නිර්මාණය නොකිරීමයි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස හැරී බලන විට අපට පෙනී යන එක් කාරණාවක් වන්නේ, රාජාණ්ඩු සමයේ ලංකාව බලසම්පන්න හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටක් වීමට හේතුව වූයේ එකල පැවති පිරිවෙන් මූලික කොටගත් අධ්‍යාපනය වැදගත් කොට සැලකීමත්, ඊට රාජ්‍ය අනුග්‍රහයත් හිමිවීමය. ලංකාවේ තුන්වන රාජධානිය වූ දඹදෙණි රාජධානි සමයේ රජකල ශ්‍රේෂ්ඨ පාලකයකු වූ දෙවන පරාක්‍රමබාහු රජතුමා (1236-1270) උගත් පඬිවරයෙක් වූ අතර, එතුමා එකල පැවැති යුධමය වාතාවරණය යටතේ වුවද රටේ අධ්‍යාපනය දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. දඹදෙණි යුගයේදී ඇති වූ සාහිත්‍ය ප්‍රමෝදය මෙය වඩාත් තහවුරු කරයි. එතුමා විසින්ම රචිත කව් සිළුමිණ හෙවත් කුසදාවත තුල හමුවන 33 වන කවියෙන් එකල අධ්‍යාපනයට හිමිවූ වටිනාකම සංකේතවත් කරයි. එය පහත පරිදිය.

33. විමල් යස තද තෙද තියුණු නිය ඈ ගුණ රැස්

      සිවුවත් රැස් කැරැ තමා කෙළේ ඔහු ම මහ නදන්

 මෙහි අර්ථය නම්, යහපැවැත්ම, දැඩි තේජස හා තියුණු ඥානය ආදී ගුණාංග ඒකරාශී කොට ඒවා රජු තමාගේ මහා නිධානය ලෙස සැලකූ බවයි. එකල තියුණු ඥානය ගෙන දෙන අධ්‍යාපනය මහා නිධානයක් ලෙස සැලකුවත් වර්තමානය වන විට එය වටිනාකමක් නොමැති, කිහිපදෙනෙකු පමණක් ඵල නෙළාගන්නා හා විභාග සමත්වීමට පමණක් උපයෝගී කරගන්නා කටපාඩම් ක්ෂේත්‍රයක් බවට පරිවර්තනය වී ඇත.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය  පාලන සමයේ ප්‍රභූ පන්තිය අතේ හා ධනපති පන්තිය අතේ පමණක් කේන්ද්‍රගතව තිබූ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයක් බවට පරිවර්තනය කරමින් රටවැසි සියලු දෙනාට එයට ප්‍රවේශයක් ලබාදීමට ‘නිදහස් අධ්‍යාපනයේ පියා’ ලෙස සලකන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා 1935 වසරේදී කටයුතු කළත් පශ්චාත් යටත් විජිත සමයේ අප රටෙහි අධ්‍යාපන ක්‍රමයට ඇති වටිනාකම අඩු වෙමින් විදේශීය අධ්‍යාපනය පිටුපස දිව යන වතාවරණයක් මේ වන විට නිර්මාණය වෙමින් පවති.

 වත්මන් ලෝක බලවතෙකු වන චීනය මෙවැනි සංවර්ධනයක් අත්පත් කරගැනීමට ප්‍රධාන හේතුවක් වන්නෙ චීනයේ ඉතිහාසය ගොඩනැගී ඇති කොන්ෆියුසියුස් දර්ශනය අනුව යමින් දේශීය අධ්‍යාපන ක්‍රමයට වැදගත්කමක් ලබාදීමයි. චීනය දැඩි දුර්භික්ෂයකට මුහුණදුන් 1970 දශකය තුලදී පවා එහි පාලකයන් අධ්‍යාපනය කඩා වැටීමට ඉඩ නොදෙමින් එහි ගුණාත්මක භාවය රැකගත් නිසා එම සමයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන් නායකත්වයට පත්වී ඇති මේ මොහොත වන විට චීනය ලෝකයේ වඩාත් ආර්ථික දියුණුවක් ලබාගත් රටක් බවට පත්වී ඇත.

ලෝක අධ්‍යාපන දිනය සිහි කරන මේ වසර තුල ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය රටට වැඩදායි පුද්ගලයන් බිහිකරන ක්‍රමයක් බවට පත්කල හැකි වන්නේ කෙසේ ද ? යන්න විමසන විට එයට විසඳුම ලෙස ඉදිරිපත් කල හැකි වන්නේ අප රටට ගැළපෙන පන්නයේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද යන්න හඳුනාගෙන එම ක්‍රමය අපගේ ජාතික අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කිරීම මෙන්ම අප රටෙහි පාසල් තුල පවතින සටහන් කටපාඩම් කර විභාග සමත් වීමේ ක්‍රමයට වඩා ශිෂ්‍යයෙක් කැමැත්ත දක්වන විෂයකට කුතුහලයක් ඇති කරන හා එම විෂය ඔස්සේ ප්‍රවීණත්වයට පත්වීමේ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමයි. එලෙසම, න්‍යායාත්මක විෂයන් වලට අමතරව වෘත්තීය මට්ටමේ තාක්ෂණික විෂයන් වලට දක්ෂ සිසුන්ට එම විෂයන් මගින් ප්‍රවීණයන් බවට පත්වීමේ වටපිටාවක් සකස් කිරීම අවශ්‍ය වේ. එලෙසම චීනයෙන් ලබාගත හැකි තවත් ආදර්ශයක් නම් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු වටිනා පොත් ස්වදේශීය භාෂා වලට පරිවර්තනය කිරීම මගින් බහුතරයකට දැනුම් දොරටුව විවෘත කිරීමයි. සාක්ෂරතාව අතින් ලොව 22 වන ස්ථානයේ පසුවන ලංකාව වැනි රටකට මෙවැනි ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් මගින් විශාල දුරක් යා හැකිවේ.

“ලෝකය වෙනස් කිරීමට භාවිතා කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය යි.”

-නෙල්සන් මැන්ඩෙලා-

Leave a Reply