You are currently viewing විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් යතාර්ථයට….

විද්‍යා ප්‍රබන්ධයන්ගෙන් යතාර්ථයට….

ලෝකය පිළිබඳව සාකච්ඡාවට බඳුන්වන සෑම අවස්ථාවකම අපට ඉවත දැමිය නොහැකි මාතෘකාවක් ලෙසින් තාක්ෂණය හඳුන්වාදිය හැකිය. අතීතයේ සිදු වූ විවිධාකාර වූ විප්ලවයන්හී වෙනස්කම්වල ප්‍රතිඵලයන් ලෙසින් තාක්ෂණයේ නවමු හැඩයන් වර්තමානය වන විට ලෝකයට පැමිණ තිබේ. එසේ පැමිණි ⁣තවත් එක් ⁣තාක්ෂණික ප්‍රයෝගයක් ලෙසට Smart Home තාක්ෂණය හඳුන්වාදිය හැකිය.

නිවසක් තනා ගැනීමේ මූලික පරමාර්ථය වුණේ ස්වභාවික පරිසරයෙන් සිදුවිය හැකි ආපදාවන්ගෙන් ආරක්ෂා වීමට, සත්ත්ව උවදුරු වලින් ආරක්ෂා වී සිටීමට සහ මානව කටයුතු සෞඛ්‍යාරක්ෂිතව සිදු කරලීමට යනාදී කාරණාවන් නිසාවෙනි. නමුත් වර්තමානය වන විට සාම්ප්‍රදායික අවශ්‍යතාවන්ගෙන් ඔබ්බට ගොස් තාක්ෂණික ක්‍රමවේද යොදා ගනිමින් මිනිසාගේ කටයුතු තවදුරටත් පහසුකරවා ගැනීමට, තමන්ගේ සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමට යනාදී හේතු සාධකයන් මුල් කරගනිමින් Smart home තාක්ෂණය භාවියට ගනු ලබයි.

ස්මාර්ට් නිවසක් යනු ජංගම හෝ වෙනත් ජාලගත උපාංගයක් භාවිතයෙන් අන්තර්ජාල සම්බන්ධතාවයක් සමඟ ඕනෑම තැනක සිට දුරස්ථව උපකරණ සහ උපාංග ස්වයංක්‍රීයව පාලනය කළ හැකි පහසු නිවාස සැකසුමකි.

මේ හරහා පරිශීලකයාට නිවසට ආරක්‍ෂිත ප්‍රවේශය, උෂ්ණත්වය, ආලෝකය  යනාදී කාර්යයන් දුරස්ථව පාලනය කිරීමට ඉඩ සලසා දෙනු ලබයි.

මෙම ක්‍රමවේදය අද වන විට ලෝකය පුරාම අතිශය ජනප්‍රිය ක්‍රමවේදයක් බවට පත් ව තිබේ. එයට මූලිකම හේතුව වන්නේ එදිනෙදා අපහට අතපසු විය හැකි බොහෝමයක් කාර්යයන් මෙම smart home තාක්ෂණික ක්‍රමවේදය හරහා මඟ හැරීයාම වළක්වා ගැනීමට හැකියාව පැවතීමයි.

නිවසේ විදුලි පරිභෝජනය කළමනාකරණය කරගන්න, නිවසට අවශ්‍ය කළමනාවන් රැගෙන යාමට අවශ්‍ය සිහිකැඳවීම්  කරවීම, හදිසි ආපදා තත්ත්වයන් කල්තියා දැනුවත් කරලීම සහ ඒවා මැඩ පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, නිවසෙහි අාරක්ෂාව පිළිබඳව නිශ්චිත තහවුරුබවක් ලබා ගැනීම යනාදී කාර්යයන් සිදුකර ගැනීමට මෙම තාක්ෂණික ක්‍රමවේද හරහා හැකියාව හිමිවේ.

මෙම ක්‍රමවේදය බොහෝවිට අදාළ නිවසෙහි පරිශීලකයාගේ කටහඬට, ඇඟිලි සලකුණුවලට යනාදී මානව පංචේන්ද්‍රීයට සංවේදී වන අන්දමින්  නිර්මාණය කර තිබීම තවත් විශේෂිත වූ ලක්ෂණයක් වශයෙන් සඳහන් කළ හැකිය.

Smart home තාක්ෂණික ක්‍රමවේදය හමුවේ නිර්මාණය කරනු ලබන නිවෙස් තුළ robot vacuum, smart air purifier, pet camera, smart display යනාදී ⁣වශයෙන්  විවිධාකාර වූ තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් මෙම නිවෙස් නිර්මාණය කරනු ලබයි.

මෙම ක්‍රම⁣වේදය තුළ පවත්නා දුර්වලතාවය හෙවත් අවාසිදායක තත්ත්වය නම් මිලෙන් අධික වීමයි. අධික පිරිවැයක් යොදා මෙම නිවෙස් නිර්මාණය කරලීමට සිදුවන අතර  නිෂ්පාදන ජාල වෙත සම්බන්ධ කර තිබීම මෙන්ම අනවසරයෙන් ඇතුළු විය හැකි බැවින් ආරක්ෂක අවදානමක් ඇති වීමට ද  හැකියාව පවතී. තවද  මෙම තාක්ෂණික ක්‍ර⁣මවේදය සමඟ ගනුදෙනු කරලීමට අවශ්‍ය දැනුමද යාවත්කාලීන කර ගතයුතු වන නිසාවෙන් නිවසෙහි වාසය කරන සියලූම සාමාජිකයන් ඒ පිළිබඳව මනා අවබෝයකින් යුතුව කටයුතු කිරීමට ද සිදුවනු ඇත. යම් හෝ අවස්ථාවක දී සිදුවිය හැකි අතපසු වීමකින් සමස්ත ජාලයම අඩපණ වී යාමේ අවදානමක් ඇත.

තාක්ෂණය සෑම අතින්ම අද වන විට මිනිසාට තම කාර්යයන් පහසු කරවීමට උදව් කරනවා සේම ඒ හරහා මිනිසා තුළ පැවතිය යුතු සජීවී බව ක්‍රමයෙන් වියැකි යාමට ද හේතු සාධක සැපයනු ලබයි. ඒ කෙසේ වුවද විප්ලවකාරී ලෝකයක තම පැවැත්ම රඳවා තබා ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයන් වෙත හුරු වීම ද සිදුකළ යුතුවේ.

මෙම Smart Home තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ සාම්ප්‍රදායික නිවහනක රාමුවෙන් එපිටට ගොස් තම සිතැඟියාවට සරිලන පරිද නිවසෙහි කාර්යයන් මනාව හසුරුවා ගැනීමට කාර්යය බහුල ජීවිතයක් ගත කරනු ලබන නවීන මිනිසා හට හැකියාව ලැබී තිබීම මනා පිටිවහලකි.

Leave a Reply