You are currently viewing ළියකි අභිසරු

ළියකි අභිසරු

මුව කමල ඇඳි පාට රන්වන්
දෙතොල් මත රැඳි සායමින් රතු
සුවඳ විලවුන් සළුද නිල්වන්
ළඳකි ඇය සුරලොවින් ආ මතු
වීදි සෙයිලම සරන සවසට
ඇදෙයි පහසට බමරු සුහුඹුල්
මධුවිතකි සුරලොවකි උන් හට
නමුදු ඈහට ලොවකි පිළිකුල්
ඇගේ හැඩ ඉරි දිග දුවන ඇස්
පිරුණු ළමැදේ ලගියි මත්වී
එළැම වැසු ළය අවුළුවයි බස්
උනුන් දොඩනා මතින් බරවී
වැටී ගත සළුපිලි කුටිය තුළ
කවුළු තෙර රැඳි දෙනෙත ළයගිනි
කෙසේ නිවනද කුරිරු ලොව තුළ
මහළු මව හා බිළිඳු කුසගිනි
නිවන් යන්නට සිතුණි සසරක්
නමුත් දිවියම දුරයි තවනම්
කළේ නැතිමුත් ලොවට වරදක්
වැරදිකරුවෙකි තවම ඇයනම්
සියල් සැප පිරි සිටු මැදුරුවල
වුණි පතිනි සළුවලද තුත්තිරි
ඉදින් අසරණ රුදුරු ලොව තුළ
කිම වැරදි ඈ මවකි සිත්පිරි
අනුන්ගේ වරදටම ගරහන
ලොවට පෙනුණේ ළියකි අභිසරු
නමුදු ඇය පීඩිතව මිරිකුන
වුණේ අසරණ මවකි ලත් දරු.

Co-director (Special events) Rtr. Mihiravi Gunasekara.

Leave a Reply