You are currently viewing කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යය

ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික උත්සව අතර විශිෂ්ටතම සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ පැරණිතම උත්සවයක් ලෙස මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකිය.

සෑම වසරකම ඇසළ මාසය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන ඇසළ පෙරහර මංගල්‍යය, පාරම්පරික කලාවන් හා සම්ප්‍රදායන් සම්මිශ්‍රණය කරගනිමින් සිදුකරන්නට යෙදෙන දුර්ලභ දර්ශනයකි. අලි ඇතුන් 50 කට අධික සංඛ්‍යාවක්, බෙර වාදකයින්, නර්තන ශිල්පීන් සිය ගණනක් සහ දහස් ගණනක් දෙස් විදෙස් බැතිමතුන් සහභාගී වන මෙම පූජනීය මංගල්‍යය ශ්‍රී ලංකාවේ අධ්‍යාත්මික අනන්‍යතාවයේ සහ සංස්කෘතික පොහොසත්කමේ සංකේතයක් ලෙස පවතී.

පුරා දින දහයක් පැවැත්වෙන ලොව එකම පෙරහැර මෙය වන අතර, ශ්‍රී ලංකාවේ අතීතයත් වර්තමානයත් එක් කරන සංස්කෘතිකමය පාලමක් වශයෙන්ද මෙය පෙන්වා දිය හැකිය.

පුරාණ පොත් පත් වල සඳහන් වන පරිදි, නූතන ඇසළ පෙරහර මංගල්‍යය කන්ද උඩරට රජු, කීර්ති ශ්‍රී රාජසිංහ පාලන සමය දක්වා දිව යයි. මෙම කාලවකවානුව තුළදී දන්ත ධාතුන් වහන්සේ, රජුගේ පෞද්ගලික දේපළක් ලෙස සලකනු ලැබූ අතර මහජනතාවට එය වන්දනාමාන කිරීමට කිසිදු අවස්ථාවක් නොලැබුණි. කෙසේ වෙතත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගයකට අනුව දන්ත ධාතූන් වහන්සේ මහජනතාවට දැක බලා ගැනීමටත් වන්දනාමාන කිරීම සඳහාත් එය පෙරහරකින් ගෙන වීදි සංචාරයේ යෙදීම අරඹා ඇත. 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් වූ පසු, දන්ත ධාතුවේ භාරකාරීත්වය බෞද්ධ පූජක පක්ෂයට භාර දෙන ලද අතර රජු නොමැති විට, සාමාන්‍ය පරිපාලන කටයුතු හැසිරවීම සඳහා “දියවඩන නිලමේ” නම් ගිහි භාරකරුවෙකු පත් කරන ලදී.

මෙවන් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන සමස්ත ඇසළ පෙරහර මංගල්‍යය, කුඹල් පෙරහර පහක් හා අවසන් රන්දෝලි මහා පෙරහර ඇතුළු රන්දෝලි පෙරහර පහකින් සමන්විත වේ.

උත්සවයවයේ සමාරම්භය, කප් සිටුවීම චාරිත්‍රය මඟින් සනිටුහන් කරනු ලබන අතර දන්ත ධාතූන් වහන්සේගේ පළමු පෙරහැර කුඹල් පෙරහැරෙන් ආරම්භ වේ. පෙරහර, හයවන රාත්‍රියේදී රන්දෝලි පෙරහර ආරම්භ වන අතර දින පහක් අවසන මහා රන්දෝලි පෙරහර එනම් ඇසළ පෙරහර මංගල්‍යයේ උත්කර්ෂවත්ම අවසන් මහා පෙරහර පවත්වනු ලබයි.

මේ අයුරින් සිදු කරන්නට යෙදෙන ඇසළ පෙරහර මංගල්‍යයට බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් මාලිගාව පෙරහර හැරුණු විට හින්දු සංස්කෘතානුකූලව නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලයන්හි පෙරහරද එක් වෙයි. ඒ අනුව පෙරහර මංගල්‍යය හරහා දන්ත ධාතුන් වහන්සේට පූජෝපහාර පැවැත්වීම මෙන්ම අතීත සම්ප්‍රදායන්ට අනුකූලව බෝග වගාව හා ලංකාද්වීපයේ සශ්‍රීකත්වය උදෙසා ආශිර්වාද ලබාගැනීම යනාදී කාරණා අරමුණු බවට පත්ව ඇත.

තෝරාගනු ලබන මාර්ගයේ ආරම්භයේ සිට අවසානය දක්වා කස හඬ නැගීම පෙරහරේ ප්‍රවේශය සංකේතවත් කරන අතර අනතුරුව විවිධ පළාත් හා විහාරස්ථාන නියෝජනය කරමින් ගමන් ගන්නා ධජ පන්තියද ඉන් අනතුරුව විවිධ ශෛලියන් හා සම්ප්‍රදායන්ගේ නර්තනාංගයන්ද බෙර හා නලා වාදක කණ්ඩායම්ද ගමන් කරනු ලබයි.

මේ හැරුණු විට එකල රජ දවස පැවති විවිධ තනතුරු තානාන්තර නියෝජනය කරමින් නිලමේවරුන්ද පෙරහරෙ ගමන් කරනු ලබන අතර පෙරහර තවතවත් ආකර්ෂණීය කරමින් ගමන් ගන්නා වර්ණවත් ලෙස සැරසූ ලොකු කුඩා අලි ඇතුන් ගණන පනහ ඉක්මවා ඇත. කෙසේ වෙතත් අවසන් රන්දෝලි මහා පෙරහරේ අතිඋත්කර්ෂවත් අවස්ථාව වන්නේ උඩරට පහතරට නැටුම්, අනේකවිධ බෙර වාදන හා නලා වාදකයන්ගේ ගෞරවය මධ්‍යයේ උඩු වියන් හා පාවඩ මතින් ගමන් ගන්නා වූ හස්ති රාජයාගේ සම්ප්‍රාප්තියයි. බුදු රජාණන් වහන්සේගේ පූජනීය වූත් වන්දනීය වූත් දන්ත ධාතූන් වහන්සේ තැන්පත් රන් කරඬුව සහිතව හස්තිරාජයා ගමන් ගන්නා ගාම්භීර විලාසය නරඹන්නන්ගේ සිතේ ගැඹුරු භක්තියක් ඇතිකරලයි.

මේ අයුරින් ගමන් ගන්නා මාලිගාවේ පෙරහරට අවසන දේවාභරණ රැගත් සිව් දේවාල පෙරහැරද එක් වේ.

මේ ආකාරයට ඇසළ පෙරහර රාත්‍රී වීදි සංචාරය නිමාවට පත්වේ.

අවසාන දිනයේදී, දිය කැපීම උත්සවය මහවැලි ගඟේ ගැටඹේ දී පවත්වනු ලැබේ. ඉන්පසු, සිව් දේවාල පෙරහර කටුකැලේ පුල්ලෙයාර් කෝවිලේ නතර වන අතර, ජ්‍යොතිෂමය වශයෙන් තෝරාගත් වේලාවක අදහන මළුවේදී මාලිගාවේ පෙරහරට එක්වේ. අනතුරුව පෙරහර පහම ඩී.එස්. සේනානායක වීදිය සහ රජ වීදිය හරහා ගමන් ගන්නා අතර මෙලෙස වීදි සංචාරයේ යෙදෙන දිවා කාලයේ පෙරහරින් පසු සම්පූර්ණ ඇසළ පෙරහර වතාවත් අවසන් වේ.

මෙම ඇසළ පෙරහැර මංගල්‍යය හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොවන අතර සම්ප්‍රදාය, රාජකාරිය, කලාකෘති, පාරම්පරික උරුමයක් වශයෙන් ඉදිරියට ගෙන යනු ලබන සංස්කෘතික අංගයකි. ලංකාද්වීපයේ නාමය ජාත්‍යන්තරයට ගෙන යාමට රුකුලක් වන ගාම්භීර උත්සවයකි.

Leave a Reply