“මාරි! ළමයෝ”
ඇගේ අම්මාගේ අඬගැහිල්ල මේ මාරිට ඇහෙන්නේ තුන්වෙනි වතාවට. තවම මාරි ඉන්න්නේ අලුත උපන් බැටළු පැටියාව අතගාන ගමන්. තවම මාරි ඇඳන් ඉන්නේ අක්කගේ පරණ ගවුම් කඩමාල්ලක්.
“මාරි! ළමයෝ, පොඩ්ඩකට එන්න මට උදවු කරන්න.”අම්මාගේ කටහඬ ආයිමත්.
“ඉන්න අම්මේ, මේ එනවා.” මාරි එහෙම කිව්වේ බැටළු පැටියාගේ සිනිඳු ලොම් සියවෙනි වතාවටත් අතගාන ගමන්.

ගවුමත් පැටලි පැටලී මාරි ඊළඟට දිව්වේ අම්මාව හොයාගෙන. ඒ වෙනකොටත් අම්මා, අක්කාත් එකතු කරගෙන බඩඉරිඟු යායේ ගොඩාක් ඈතට ගිහින්. ඇත්තටම කිව්වොත් මාරි යන්න හිතපු වෙලාවට අම්මා ළඟට යන්න නම් එයා මේ වෙනකොටත් දුවන්න පටන් අරගෙන ඉන්න ඕනි. ඊළඟ මොහොතේ, හතිදාගෙන දුවපු මාරි, අම්මා ළඟින්ම බිම ඇදගෙන වැටුණා.
“අනේ දරුවෝ, නත්තල් දවසට ඔයාට කකුල ඔතාගෙන ඉන්නද ඕනි? කෝ කෝ, නැගිටින්න ඉක්මනින්.”
“මම ඔයාට කතා කරන්නේ කොච්චර වෙලාවක ඉඳන් ද? කොහෙද ළමයෝ ඔයා හිටියේ?” අම්මා නෝක්කාඩු කියන්න වුණා.
“ඇයි අම්මා මට කතා කළේ? මම හිටියේ ඩේසි ළඟ.” මාරි අම්මාගේ නෝක්කාඩු ගණනකට නොගෙන එහෙම ඇහුවා.
“කෝ අල්ලගන්න මේ කූඩේ. ඊළඟ කුණාටුවට කලින් අපි මේ බඩඉරිඟු ඔක්කොම ඉස්තෝප්පුවේ අතුරලා තියෙන්න ඕනේ. හරියටම කිව්වොත් තාත්තා ගෙදර එන්න කලින්.” අම්මා ඉක්මන් වුණා.
ඊළඟ වතාවේ මාරි අම්මාගේ පස්සෙන් බඩඉරිඟු යායේ අක්කා හිටපු දිහාවට යන්න වුණා.
ඈත කඳු වළල්ලෙන් එපිට අඳුරු වැහි වලාවක්, මාරි ජීවත්වුණු මිටියාවත දිහාවට ඒ වෙනකොටත් පාවෙමින් තිබුණා. කුරුලු රංචුවක් මිටියාවත හරහා කැලය පැත්තට පියඹාගෙන ගියා. ගස්වල අතුවලින් ගැලවුණු කොළ පාවෙලා ඇවිත් බඩඉරිඟු යායේ තැනින් තැන පතිත වුණා.
නත්තල් කාලයේ සීත සෘතුවේදී එන කුණාටු ඇත්තටම සුන්දර, පල්ලියේදී කියවපු කතා පොත්වල විතරයි කියලා පුංචි වුණත් මාරිට තේරිලා තිබුණා. ඒ කාලෙට තාත්තාට කලින්ම නිවසට එන්න සිද්ධ වුණා. ඒ වගේම තාත්තාට අලුත් කරත්තෙකට ලී කපන්න ඒ කාලෙට නිතරම කැලේට යන්න වුණා. ඩේසිගේ ලොකු අම්මා අතුරුදහන් වුණෙත් ඒ වගේ කුණාටු කාලෙක බව මේරිට මතක තිබුණා. ඇත්තටම කිව්වොත් ඩේසිගේ ආච්චි අම්ම ඒ කුණාටුවට කොහෙත්ම කැමති වුණේ නැත්තෙත් එයා නියුමෝනියාවට ඒ වෙනකොටත් ගොදුරු වෙලා හිටපු නිසා. කොහොම වුණත් ආයිත් ඒ කාලේ ඇවිදින්! ඒත ඇත්තටම මේ සීත සෘතුවේ කුණාටුව නිසා වැඩියෙන්ම දුකට පත් වුණේ කාත් කවුරුත් නැතිව අසරණ ව හිටපු ජෝන් සීයා! එයා වෙනුවෙන් මේ ලෝකයේ වෙන කවුරුත්ම හිටියේ නෑ. හැමදාම පල්ලියෙන් එයාට කෑම බීම ලැබුණත් එයා සතුටින් නෙවෙයි ජීවත් වුණේ. එයාත් ගොඩක් කැමැත්තෙන් හිටියා ලස්සන පුංචි පවුලක් එක්ක ජීවත් වෙන්න, එයාලත් එක්ක එකතු වෙලා නත්තල සමරන්න, නත්තල් ගස් හදන්න, නිවස සරසන්න. ඒ වුණත් හැමදාම හුදෙකලා ජීවිතයක් ගත කරපු ජෝන් සීයාට ඉතින් දැන් නත්තල කියන්නේ තවත් එක දවසක් විතරයි!
මේරි, අම්මාත් අක්කාත් එක්ක බඩඉරිඟු යායේ ඉඳන් නිවස බලා එමින් සිටියා. ඩේවිඩ් හදිසියේම එයාලා ඉන්න පැත්තට දුවගෙන එනවා මේරි දැක්කා.
“අම්මේ, අන්න ඩේවිඩ්!”
“ඩේවිඩ්! ඒ දරුවා ඇයි කලබලෙන් වගේ එන්නේ? අනික මේ කුණාටුවක් ළඟ එනකොට,”
“චාර්ලට් නැන්දේ! මේරි!” ඩෙවිඩ් දුර තියාම කෑගහන්න වුණා.”
ජෝන් සීයාට හොඳටම අසනීපයි. එයා පාර අයිනේ වැටිලා සීතලේ ඉන්නකොට අපේ තාත්තා ගෙදර එක්කන් ඇවිත්.” ඩේවිඩ් හති දමමින් කියාගෙන ගියා.
“අනේ දෙවියනේ අසරණ මනුස්සයා!” මේරිගේ අම්මාට කියවුණා.
“අනේ අසරණ ජෝන් සීයා!” මේරිත් ඇගේ සහෝදරියත් දුක් වුණා.
කුණාටුවට කලියෙන් නිවසට යාගන්න වුවමනා නිසා ඩේවිඩ් ඔවුන්ගෙන් සමුගෙන නැවත නිවස බලා දුවන්නට වුණා.
බඩඉරිඟු ටික ඉස්තෝප්පුවේ අතුරපු මේරිත්, ඇගේ සහෝදරියත්, ඇගේ මවත් ජෝන් සීයා ගැන බොහෝ දුක් වුණා. ඔවුන් පසුවදාම ජෝන් සීයා බැලීමට යාමට කතිකා කරගත්තා. කුණාටුවේ වැස්ස අතරින් තාත්තා නිවසට ගොඩ වුණා. ජෝන් සීයා ගැන දැනගත්ත තාත්තාත් ගොඩක් දුක් වුණා.
ඊළඟ දවස තමයි රුදුරු කුණාටු මඟහරිමින් උදාවන ලස්සන නත්තල් දිනය! නත්තල් දවසේ උදෙන්ම මේරිගේ පවුලේ හැමදෙනාම තෑගිත් අරගෙන ජෝන් සීයාව බලන්න ඩේවිඩ්ලාගේ ගෙදරට ගියා. ටිකක් අසනීපෙන් හිටියත් හැමෝම එකතු වෙලා ජෝන් සීයාව එයාගේ ගෙදරට එක්කගෙන ගියා. එදා එයාල ජෝන් සීයාගේ ගෙදර ලස්සනට සැරසුවා. කෑම බීම හදලා, සින්දු කියලා, කතන්දර කියලා හැමෝම සතුටින් විනෝද වුණා. ඇත්තටම එදා ජෝන් සීයා තරම් සතුටු වුණේ නෑ වෙන කවුරුවත්ම. මේරිගේ පවුලේ අයයි, ඩේවිඩ්ගේ පවුලේ අයයි මෙදා සැරේ නත්තල සැමරුවේ ජෝන් සීයාගේ ගෙදර. ඇත්තටම නත්තලේ සැබෑම සතුට තියෙන්නේ, ඒ වගේ තමන්ගේ සතුට තව අයත් එක්ක බෙදාගෙන සතුටු වෙනකොට.

