උදාවූ දුරුතු පුරපසළොස්වක පොහොය දිනය ලාංකීය බෞද්ධ ජනයාට ඉමහත් වැදගත් වන දිනයක් වන අතර ශාසන ඉතිහාසය තුලද එයට ලැබුන වටිනාකම ඉමහත්ය. මේ දුරුතු පොහොය මෙලෙස වැදගත් වීමට හේතු වූ සිදුවීම් එකිනෙක විමසා බලමු.
බුද්ධත්වය ලබා නව වැනි මස දුරුතු පුර පසලොස්වක පොහෝ දිනක අප සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු විය. රටේ කාලයක් තිස්සේ පැවති නාග සහ යක්ෂ ගෝත්‍රිකයන් අතර අසමගිය දුරු කිරීම මෙම ගමනේ ප්‍රධාන අරමුණ වූ අතර මේ සදහා බුදුරදුන්ට ඇරයුම් කලේ සුමන සමන් දෙවියන් බව බෞද්ධයන් විශ්වාස කරති. දැනට මහියංගණය චෛත්‍යය පිහිටි ස්ථානයේදී යක්ෂ සේනාව දමනය කිරීමට, බුදුරදුන් ධර්මය දේශනා කල අතර බණ ඇසූ විශාල පිරිසක් ධර්මාවබෝධය ලැබූ බව වංශ කතා වල සඳහන් වේ. එපමණක් නොව සුමන සමන් දිව්‍ය රාජයාගේ ආයාචනය නිසා පූජා කිරීමට පූජා වස්තුවක් ලෙස කේෂ ධාතු මිටක් දුන් බුදුරදුන් පෙරලා උරුවෙල් දනව්වට වැඩම කලේය. සමන් දෙවියන් එම කේශ ධාතු තැන්පත් කර ලොව ප්‍රථම දාගැබ වූ මහියංගණය දාගැබ ඉදි කරන ලදී. බුදු රදුන් ජීවත්ව සිටි කාලයේම මෙම දාගැබ කරවූ බව ඉතිහාසයේ කියවෙයි.
ප්‍රථම ලංකාගමනයෙන් පසු බුදුරදුන් මගධ අධිපති බිම්බිසාර මහරජු කල ආරාධනයක් නිසාවෙන් උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේලා සමග පැමිණ බිම්බිසාර රජු ඇතුලු පිරිසට ධර්මය දේශනා කල සේක. මෙයින් පසු බිම්බිසාර මහරජු බුදුරදුන් ඇතුලු මහ සංඝයාට වේළුවනාරාමය පූජා කළ අතර මෙය බිම්බිසාර රජුගේ ප්‍රාර්ථනා පහම ඉටු වූ අවස්ථාවක් ලෙස සලකනු ලබයි.
මෙය ප්‍රථම ආරාම පූජාව ලෙස සලකන අතර මෙයින් පසු සංඝයා වහන්සේලාට ආරාම වාසය කැප බවට බුදුරදුන් දේශනා කරන ලදී. එසේම බුදුරදුන්ගේ තෙවන ලංකාගමනය සිදුවූ කැළණියේදී, මෙදිනට දුරුතු පෙරහැර පවත්වනු ලබයි.
අවුරුද්දේ පලමු මාසයේ ආරම්භය වන මෙම පොහෝ දින සියලුම බෞද්ධ ජනයා ආගමික වතාවත් වල නිරත වෙමින් සහ දහම් දේශනා අසමින් ප්‍රතිපත්ති පූජා වල නිරත වෙනු ලබයි.
