සැප්තැම්බර් මාසයේ යෙදී ඇති “බිනර පුර පසළොස්වක පොහොය දිනය” බෞද්ධ ආගමිකයන්ට වටිනා දිනයක් වනුයේ, එදින, බුදු රජාණන් වහන්සේගේ සමයේ සිදු වූ වැදගත් සිදුවීම් සිහිපත් කරන දිනයක් බැවිනි.
මෙම දිනයේ සිහිපත් කරන වැදගත් සිදුවීම් එකිනෙක අපි විමසා බලමු.

භික්ෂුණී ශාසනය පිහිටුවීමේදී පලමු භික්ෂුණිය ලෙස පැවිදි බව අත් කර ගනු ලැබූයේ ගෞතම බුදු රජාණන් වහන්සේගේ සුළු මව වූ මහා ප්රජාපතී ගෝතමී දේවියයි. ඒ ආනන්ද හිමි විසින් බුදු රදුන් ඉදිරියේ කල ඉල්ලීමට බුදුරදුන් විසින් කොන්දේසි සහිතව එකඟ වීමෙන් පසුවයි. ඊට පෙර ගෝතමී දේවිය පැවිදි දිවියට පිවිසීමට කල ඉල්ලීම් බුදු රදුන් තෙවරක් ප්රතික්ෂේප කල බව විනය පිටකයේ හා අංගුත්තර නිකායේ සදහන් වේ. මහා ප්රජාපතී ගෝතමී දේවිය, තම සොයුරිය වූ මහාමායා දේවිය බුදුරදුන්ට උපත දී මිය යාම හේතුවෙන්, කුඩා කාලයේ පටන්ම බුදු රදුන් ඇති දැඩි කල අතර ඈ පෙරටු කරගත් මේ භික්ෂුණී ශාසනයේ සිදු වූ ආරම්භය, මෙදින බෞද්ධයන් විසින් සිහිපත් කරනු ලබයි.
එසේම වස් සමයක් ලෙස හදුන්වන මෙම බිනර මාසය තුල භික්ෂුන් සහ භික්ෂුණීන් ආරාම වල රැදී භාවනාවේ නිරත වීම සිදු වේ. මෙම “වස් වසනවා” යනු තුන් මාසයක් එක තැනක වසන්නෙමී යන්නයි. උපසම්පදා භික්ෂුන් අනිවාර්යෙන්ම, බුදු රදුන් විසින් “මහණෙනි.. වස්සාන ඍතුවේ වස් එළැඹ එක් තැනක රැදී සිටීම අනු දනිමි” පැනවූ විනය නීතිය අනූව, මෙම වස් ශික්ෂා පදය සමාදන් විය යුතුය.
එලෙසම බුදු රදුන්ගේ පලමු ලංකා ගමනය සිදු වූයේ මහියංගණයටයි. මෙම බිනර පොහොය සනිටුහන් කරමින් මහියංගනයේ පැවැත්වෙන පෙරහැරේදී ශ්රී ලාංකීය ආදී වාසි ජනයා විසින් අපූරූ නර්තනාංගයක්ද ඉදිරිපත් කරනු ලබයි.
මෙදින ශ්රී ලාංකීක බෞද්ධයන් සාමය, සමානාත්මතාව සහ කරුණාව පෙරදැරි කරගෙන ඔවුන්ගේ ආගමික වතාවත් වල නිරත වීම සිදු වේ. සිල් සමාදන් වීම, භාවනාවේ යෙදීම, පොහොය වැඩසටහන් සදහා සහභාගී වීම, ධර්ම දේශනා වලට සවන් දීම තුලින් ඔවුන් තම ආත්මය සුවපත් කර ගනී. එලෙසම දාන මාන ලබා දීම ආදී කුසල් සිදු කරමින් ඔවුන් ආමිස හා ප්රතිපත්ති පූජාවන්හී නිරත වෙයි.
