ලොව පුරා වෙසෙන බෞද්ධයන් හට ඉතාම වැදගත් දිනයක් වන ඇසළ පොහොය දිනය, බෞද්ධ සමාජය තුළ ආත්මීය වශයෙන් මුල් බැසගත් හා බුදු සසුනෙහි ඉතිහාසය තුළ සිදුවූ සුවිශේෂී සිදුවීම් රැසක් පොදි බැඳගත් දිනයකි.

සෑම වසරකම ජූලි මාසයේ නැතහොත් සිංහල මාස ක්‍රමයට අනුව ඇසළ මාසය තුළ යෙදෙන මෙම පොහොය දින සිදුවූ වැදගත් සිදුවීම් රැසකි.
අප සැම දන්නා පරිදි සිදුහත් කුමරු සුදු ඇත් පැටවකුගේ රුවින් පැමිණ මහමායාවන්ගේ කුස පිළිසිඳ ගනු ලැබුවේ ඇසළ පුර පසළොස්වක පොහොය දිනයකය.
එලෙසම සතර පෙර නිමිති දැක ගිහි ගෙය කලකිරුණු සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරනු ලැබුවේද, රාහුල කුමරුවන්ගේ උපත සිදුවූයේද අදවන් දිනකය.
එපමණක් නොව සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැරයාම වළකා සත් දිනකින් සක්විති රජකමට පත්වන බව මාරයා විසින් පවසනු ලැබුවේද මෙවන් දිනකය.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසු මාර සේනා පරාජය කරමින් බුද්ධත්වය ලබා ගත් බුදුරදුන්, ඉසිපතන මිගදාය වෙත වැඩම කොට පළමු ධර්ම දේශනාව, “ධම්මචක්ක පවත්තන සූත්‍රය” දේශනා කරනු ලැබුවේද, ඒ බණ ඇසූ කොණ්ඩඤ්ඤ තවුසනුවන් සෝවාන් ඵලයට පත්වූයේද ඇසළ පොහොය දිනයේදීය.
එලෙසම බුදුරදුන් තව්තිසා දෙව්ලොවට වැඩම කොට මාතෘ දිව්‍ය රාජයාණන් හට ධර්මය දේශනා කිරීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කිරීම සඳහා යමා මහ පෙළහැර පෑම, ඇසළ පොහොය දිනයේදී සිදුවූ තවත් සුවිශේෂී සිදුවීම්ය.
තවද ඇසළ පොහොය හා සම්බන්ධ වැදගත් සිදුවීම් කිහිපයකි. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන රහතන් වහන්සේලා පන්සියයකගේ සහභාගිත්වයෙන් හා අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර වේහාර පර්වත මූලයේදී ප්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පොහොය දිනකදීය.
මීට අමතරව බු.ව. 382 දී දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑරදුන් තැනීම සඳහා මුල්ගල තැබීම, කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා ක්‍රමය ඇති කිරීම සඳහා පියවර ගැනීම, බු.ව. 847 දී කිත්සිරි මෙවන් රජ දවස හේමමාලා කුමරිය හා දන්ත කුමරු කලිඟුරට සිට ගෙනෙන ලද දන්ත ධාතූන් වහන්සේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම යනාදිය ද ඇසළ පොහොය දින සිදුවූ වැදගත් සිදුවීම්ය.
මුල්බැසගත් බෞද්ධ උරුමයක් ඇත්තා වූ රටක් වන ශ්‍රී ලංකාව තුළ ඇසළ පුර පසළොස්වක පොහොය මහත් ගෞරවයෙන් හා භක්තියෙන් සමරනු ලබයි. ඒ අනුව සුදු වතින් සැරසුණු බෞද්ධයන්, බාල මහලු භේදයකින් තොරව බෞද්ධ විහාරස්ථාන වෙත ගොස් අටසිල්, දසසිල් සමාදන් වෙති, ආගමික කටයුතුවල නිරත වෙති.
මේ අනුව බෞද්ධ ඉතිහාසය පූජනීය අවස්ථා රැසක් සිදුවූ මෙම උතුම් ඇසළ පොහොය දිනය හුදෙක් සැමරීමක් පමණක් නොව බෞද්ධ සංස්කෘතිය තුළ ආලෝකයක්, නව අරමුණක් සහිතව ජීවිතය ගත කිරීම සඳහා කරනු ලබන ආරාධනයකි.
මෙම ඇසළ පුර පසළොස්වක පොහොය, අප සැමට දහම් මග පෙන්වමින් නිවන් මාර්ගයට තබන්නා වූ කරුණාවෙන් පිරුණු පියවරක් වේවා යැයි පතමු!
