You are currently viewing බක් පුර පසළොස්වක පොහොය

බක් පුර පසළොස්වක පොහොය

අප්‍රේල් මාසයේ යෙදෙන බක් පුර පසළොස්වක පොහොය දිනය ලංකාවාසී බෞද්ධ සැදැහැවතුන් සදහා වැදගත් දිනයක් වන්නේ මෙම දිනයේ සිදුවී ඇති සුවිශේෂි සිදුවීම් කිහිපයක් නිසා වේ.

බොහෝ කලකට පෙර, නාගදීපයේ චූලෝදර සහ මහෝදර යන නා රජුන් දෙදෙනා මැණික් පුටුවකට යුධ වදිමින් සිටි සමයක් ලංකාවේ පැවතුන අතර, මෙම මහා නාග සටන වලක්වාලීම සදහා බුදුරජාණන්වහන්සේ ඍද්ධි බලයෙන් අහස් කුසට වැඩම කර මහා ඝන අන්ධකාරයක් මවා නාගයන් බියට පත් කරමින් ඔවුන් දමනය කළ අතර මෙය බුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකාගමනය ලෙස සැලකේ. පසුව චූලෝදර සහ මහෝදර නා රජවරු මැණික් පුටුව බුදුරජාණන්වහන්සේට පූජා කළ අතර ඔවුන් ඇතුලු අනුගාමිකයන් තිසරණ සරණෙහි පිහිටුවා පංච ශීලයෙහිද පිහිටුවීමට බුදුරදුන් කටයුතු කළ සේක.

එලෙසම බුදුරජාණන්වහන්සේ සිද්ධාර්ථ කුමරු සමයේ සතර පෙර නිමිති වලින් එකක් වූ පළමු නිමිත්ත දැකීම සිදු වූයේද මෙවන් බක් පුර පසලොස්වක පොහෝ දිනකය. සිද්ධාර්ථ කුමරුගේ උපතින් කියවුන අනාවැකි අනුව ගිහිගෙය හැරයාම වලක්වාලීම සදහා ජරා, ව්‍යාධි, මරණ සහ ශ්‍රමණ පුද්ගලයන් ප්‍රධාන නුවරින් ඉවත්කිරීමට සුද්ධෝදන රජු කටයුතු කර තිබූ නමුත් සිදුහත් කුමරු උයන් ක්‍රීඩාව සදහා ගමන් කරන විට පලමු වරට ජරා එනම් මහල්ලෙක් දැක, සසර ගමනින් එතෙර වන්නට අදිටන් කරගත් අතර එයද මෙම බක් පුරපසලොස්වක දිනයේ වූ සුවිශේෂි සිදුවීමකි.

භාග්‍යවන්ත මාසයක් ලෙස සැලකෙන මෙම බක් මාසයේ පුර පසලොස්වක පොහෝ දින බෞද්ධ සැදැහැවතුන් ආමිස සහ ප්‍රතිපත්ති පූජා වල නිරත වෙමින් මෙම දිනය සැදැහැ සිතින් සිහිපත් කරනු ලබයි.

Leave a Reply