You are currently viewing වෙසක් පොහොය දිනය

වෙසක් පොහොය දිනය

බුදු රජාණන් වහන්සේගේ තෙමගුල, එනම්, උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම, සිහිපත් කරනුයේ මැයි මස යෙදෙන වෙසක් පොහොය දිනයේදී ය. මහමායා දේවියට සහ සුද්ධෝධන රජතුමාට දාව ලුම්බිණි සල් උයනේදී සිදුහත් කුමරු උපත ලැබීම මෙම දිනයේ සිහිපත් කරන වැදගත් සිදු වීමකි. මහාමායා දේවිය පෙර සිරිත අනුව මව්පියන් බැහැදැකීමට දෙව්දහ නුවර බලා යන විට වර්තමාන නේපාලය අසල, ලුම්බිණි නම් සල් උයනේදී සිදුහත් කුමරුගේ උපත සිදු විය. එලෙසම සතර පෙර නිමිති දර්ශනයෙන් පසු ගිහි ගෙය පිළිබදව කළකිරුනු බුදු රදුන් සියල්ල හැරදා නික්ම ගොස් වසර හයක දුෂ්කර ක්‍රියා සිදු කිරීමෙන් අනතුරුව බුද්ධගයාවේදී බුද්ධත්වයට පත් වූයේද මෙවන් වූ පොහොය දිනකදීය. එපමණක් නොව කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උයනකදී බුදුරදුන් පරිනිර්වාණය කලේද මෙවන් වූ පොහොය දිනකදීය. මෙහිදී බුදුරදුන් තම ශ්‍රාවකයන් අමතා අවසන් බුදු වදන් දේශනා කල සේක. මහණෙනි සියලු සංස්කාරයන් නැසෙන සුලුය. එබැවින් එලැබ සිටි සිහියෙන් සියලු පැවදි කිස සම්පූර්ණ කරව් යන්නෙන් දේශනා කල සේක.

මෙවන් සිදුවීම් සිහිපත් කරන්නාවූ මේ වෙසක් දිනයේදී සැදැහැවත් බෞද්ධ ජනයා සිල් සමාදන් වීම, භාවනා කිරීම, ආදි ප්‍රතිපත්ති පූජාද සහ දන්සල් පැවැත්වීම, භක්ති ගීත ප්‍රාසාංග පැවැත්වීම, වෙසක් කූඩු සහ තොරන් ප්‍රදර්ශනය වැනි ආමිස පූජාවන්හී නිරත වෙති. මෙම වෙසක් පුර පසලොස්වක පොහොය සියලු ලෝකවාසී බෞද්ධයන් සදහා ඉතා වැදගත් දිනයක් වන අතර රාජ්‍ය නිවාඩු දිනයක් ලෙසද සලකනු ලැබේ. වෙසක් දිනය ආරම්භ වීමට පෙර ජනතාව වෙසක් කූඩූ ආදිය නිර්මානය කරමින්, පංච ශීලයෙන් වලකිමින්, මේ සදහා සූදානම් වෙයි. ආගම් භේදයකින් තොරවම දන්සල් සදහා සහභාගී වෙමින් මේ දිනය සමරන අතර වෙසක් කූඩූ තරග, භක්ති ගීත තරගද මෙම දිනයේ පවත්වනු ලැබේ. මෙවන් ආමිස පූජා වලට මෙන්ම ප්‍රතිපත්ති පූජා වලටද මේ දිනයේ විශේශ අවධානයක් යොමු වෙයි. සැදැහැවත් බෞද්ධ ජනතාව උදෑසනම පන්සල් ගොස් සිල් සමාදන් වෙමින් සහ පංච ශීලය රක්ශා කරමින් මෙම දිනය ගත කරති. එනම් ප්‍රාණ ගාතයෙන් වැලකීම, කාමයෙන් වැලකීම, සොරකම් කිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, සුරා සූදුවෙන් වැලකීම මගින් එම දවස ඔවුන් නිමා කරනු ලැබේ.

එබැවින්, ඔබ සැමට, කෙලෙස් සිත් නිවී සැනසුම ලැබෙන, පංච ශීලය රක්ෂා වන, පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා!

Leave a Reply