
සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයාට ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික වටිනාකමකින් ද යුත් උතුම් පොහෝ දිනක් ලෙස නිකිණි පුන් පොහෝ දිනය හැඳින්විය හැක. ගෞතම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම තීරණය කළ ප්‍රධාන ශාසනික සිදුවීම් රැසක් මෙම පොහෝ දිනය කේන්ද්‍ර කරගනිමින් සිදු වී ඇත.
බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වී තිබෙන්නේ නිකිණි පොහෝ දිනයකදී වීම ඒ අතර වඩාත් වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු මහලු වියේ පැවිදි වූ සුභද්‍ර නම් භික්ෂුව විසින් කරන ලද අභද්‍ර ප්‍රකාශ හේතුවෙන් අනාගතයේ බෞද්ධ ශාසනයට සිදුවිය හැකි හානිය පිළිබඳව අවබෝධ වූ ශාසනහිතකාමී භික්ෂූන් වහන්සේලා විසින් රජගහ නුවර වේහාර පර්වතයේ සප්තපර්ණී ගුහාවේදී මෙම ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ධර්ම විනය ආරක්ෂා කර ගැනීමේ උතුම් ක්‍රියාව අරමුණ සාක්ෂාත් කර ගැනීම පිණිස අජාසත්ත රජුගේ දායකත්වයෙන්, මහා කාශ්‍යප රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් රහතන් වහන්සේලා පන්සිය නමකගේ සහභාගීත්වයෙන් යුතුව මෙම ප්‍රථම ධර්ම සංගායනාව සිදු කෙරුණි.
විනය පිටකය උපාලි මහරහතන් වහන්සේ විසින්ද, ධර්ම පිටකය ආනන්ද මහරහතන් වහන්සේ විසින්ද මෙහිදී ප්‍රථම වරට සංගායනා කරන ලද අතර, එය බෞද්ධ ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් සංධිස්ථානයක් ලෙසින් සැලකේ.

බුදුරජාණන් වහන්සේ සිය දහහතරවන වස් කාලය ශ්‍රාවස්ති නුවර ජේතවනාරාමයේදී ගත කිරීම ආරම්භ කිරීමත්, සේරුවාවිල චෛත්‍යයෙහි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදන් කිරීමත් ඇතුළු තවත් ඓතිහාසික සිදුවීම් රැසක් මෙම පොහෝ දිනය සමඟ සම්බන්ධ වී ඇති බව වංශකථාවල සඳහන් වේ.
තවද, ඓතිහාසික මහනුවර ඇසළ මංගල්‍යයේ අවසාන මහා රන්දෝලි පෙරහැර නිකිණි පුර පසළොස්වක පොහෝ දින වීදි සංචාරය කිරීමද ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට නිකිණි පොහෝ දිනය වඩාත් සමීප වීමට තවත් කරුණක් ලෙස දැක්විය හැක.
බුදුදහමේ පවිත්රත්වය රැකගැනීම සඳහා අතීතයේ මහා රහතන් වහන්සේලා කැපවූ ආකාරයත්, වර්තමානයේ ද බෞද්ධ ශාසනය රැකගැනීමේ වගකීම සමස්ත බෞද්ධ ජනතාව සතු බවත් සිහිගන්වන මෙම උතුම් නිකිණි පොහෝ දිනයේදී, ආමිස පූජාවන්ට මෙන්ම සීල, භාවනා සහ ධර්ම ශ්‍රවණය වැනි ප්‍රතිපත්ති පූජාවන්හි ද නිරත වෙමින්, බුදුදහමේ හරයන් අනුව දිවි ගත කිරීමට අදිටන් කර ගනිමු.
