මුළු පරිසරයම ඝන අඳුරේ ගිලී තිබුණ ද ඈත දැල්වී තිබුණා වූ විදුලි පහන් එළියකින් ජනේලය අසල කිසිවෙකු සිටින සිටින බව ඡායාවකින් මෙන් හඳුනා ගැනීමට ඇනි අම්මාට හැකි වූවාය. නමුදු හදේ ඇති ගැස්ම සහ බිය නිසා ඇනි අම්මාට ඇඳෙන් නැගිටීමට තරම් හයියක් නොතිබුණා ය. නමුදු ඇගේ මනසට එකවරම වැටහුණේ මෙලෙස බංගලාව තුළ සැරි සැරිසරන්නේ එලොව සිටිනා අයෙකු නොව මෙලොව සිටිනා පුද්ගලයකු බවයි. ජනේලය අසල සිටිනා පුද්ගලයා කවුරුන් වුවද ජනේලය පාමුල තැබූ ලී කැබැල්ලේ ඇණ වලට කකුලට හානි වූ බව නම් ඇනි අම්මාට නිසැකවම වැටහුණි. දුර ඈත කඳුකරයේ සිටිනා හිවලුන්ගේ හූ හඬත් සමග පරිසරයේ පැවැති මූසල බව තව තවත් වැඩි වුණි. සිතෙහි පැවැති බිය නිසාම ඇනි අම්මා නැවත ඇදට ගොඩවී හිසේ සිට රෙද්ද පොරවාගෙන නින්දට සැරසුණුද පසුදා අලුයම වනතුරුම නින්ද ඇය කරා නොපැමිණියා ය. රාත්‍රිය පුරාම ඇගේ මනසේ සැරිසරුවේ බංගලාවට වින කරන්නට සැරසෙන මෙම පුද්ගලයා කවුරුන්ද යන වගයි.
අලුයම හතරට පමණ නැවත ඇඳෙන් නැගී සිටි ඇනි අම්මා හිතට ධෛර්යය ගෙන කාමරයෙන් පිටතට පැමිණියාය. වටපිටාවේ පැවති අධික සීතල නිසා ගත පුරා දවටාගත් රෙද්දත් සමග එක් අතකින් විදුලි පන්දමද රැගෙන ඇනි අම්මා පිය නැගුවේ පෙරදින ලී කැබැල්ල තැබූ ජනේලේ අසලට ය. නමුත් පුදුමයකට මෙන් ඇණ ගසා තිබූ ලී කැබැල්ල එතන නොවූවාය. නැවතත් විදුලි පන්දමේ එළියෙන් අවට හොඳින් පිරික්සු ඇනි අම්මා දුටුවේ ලේ තැවරී තිබූ පාදයක පියසටහන්ය. ඇනි අම්මාගේ සැකය තහවුරු වූවාය. එදිනද බංගලාවේ කටයුතු සුපුරුදු පරිදි සිදුවුණි. නමුදු බංගලාවේ අනාගතය රැක ගැනීමේ තනි අරගලයක ඇනි තනිව නිරත වූවාය. කමලා විසින් සුපුරුදු පරිදි ආහාර පිසීම සිදු කළ අතර හවස යාමේදී සුපුරුදු පරිදි සිරිපාලද මත්පැන් රැගෙන බංගලාවට පැමිණියේය.
පසුදින සිරිපාලගේ කීමට කාලාන්තරයකට පසු තම වතුපිටි බැලීමට යාමට සැරසුණු ලොකු හාමු මහතාගේ ගමනට බාධා වූයේ බංගලාවේ මිදුලේ එක්වර නතර කරන ලද පොලිස් ජීප් රථයකිනි. ඉන් බැසගත් පොලිස් නිලධාරීන් කිහිපදෙනා පැමිණියේ ලොකු මහතා පිටත්ව යාමට සැරසී සිටි කාර්රථය අසලටය.
“Mr. අධිකාරම් ඔබතුමාගේ බිරිඳගේ මරණයට සැකපිට අපිට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න සිදුවෙනවා.”
එලෙස පැවසූ පොලිස් නිලධාරියා විලංගු ගෙන දැමුවේ ලොකු මහතා සමග යාමට සූදානමින් රියදුරු අසුනට නැග සිටි පීටර් ජේම්ස්වය.
එදින ඇනි අම්මාගේ උගුලට හසු වී තිබුණේ අන්කවරකුත් නොව රාත්‍රියට බංගලාවේ හොර ගල් අසුලමින් ඇවිදිනා පීටර් ජේම්ස්ය. එදින කොරගසමින් මුළුතැන්ගයට පැමිණි පීටර් ජේම්ස් දුටු ඇනී අම්මා කකුලට කුමක් සිදුවූයේදැයි විමසූ විට ඔහු පැවසුවේ වත්තේ පොල් කැඩීමට ගොස් සිදු වූ අනතුරක් බවය. එයින්ම ඔහු පවසන්නේ අසත්‍යයක් බව වටහා ගත් ඇනී අම්මා තමාගේ නුවණ භාවිත කර ඇයගේ සිත තුළ පැවති සියලු ම සැක සංකාවන් පොලිසියට දැනුම් දුන්නා ය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසියේ විමර්ශන වලින් හෙළි වූයේ කිසිදු රෝගී තත්ත්වයක් නොතිබූ සමදරා මැණිකේ ගෙ හදිසි මරණයට හේතු වූ අධික විෂ බංගලාවට රැගෙන ආවේ අන්කවරකුත් නොව පීටර් ජෙම්ස් බවයි. කාලාන්තරයක් පටන් බංගලාවට හිතැති සේවකයෙකු ලෙස කටයුතු කළ පීටර් ජේම්ස්ගේ මෙම වෙනස්වීමට හේතු වූ කාරණය වූයේ අධික ධන තණ්හාව බව පොලිස් විමර්ශනවලින් හෙළි විය. තවද පීටර් ජේම්ස් යනු මෙම මිනීමැරුම් කුමන්ත්‍රණයේ එක් පුරුකක් වූ අතර මෙහි සැබෑ මොළකරුවන් වූයේ කමලා හා සිරිපාල බව පීටර් ජේම්ස්ගේ පාපොච්චාරණවලින් හෙළි විය.ඒ අනුව වැටහී ගියේ මෙම සියලු කරුණු කාරණා වලට හේතු වූයේ කලක සිට කමලාගේ සිත තුළ පැවති හීනමානය නැමැති සිතිවිල්ල ය.
වසර විසි ගණනකට පෙර අතීතයට….
වසර ගණනාවකට පෙර අනාථ දැරියන් ලෙස ළමා නිවාසයක සෑදුණු කමලා සහ සමදරා හොඳ මිතුරියන්ම පමණක් නොව සහෝදරියන් මෙන් විය. කාලය ගෙවී යන්නට විය.කමලා බෙහෙවින්ම රූමත් තරුණියක් වූ අතර සමදරා සාමාන්‍ය රුවැති පෙනුමක් තිබූ තරුණියක් විය. සෑම විටම තමාගේ රූපය පිළිබඳ ඉහලින් සිතූ කමලා අනාථ නිවාසයට ආධාර දීමට පැමිණි ලොකුහාමු මහතා පිළිබඳ කලක පටන් සිත් පහළ කරගෙන සිටියාය. නමුත් ඔවුන්ගේ දෛවයේ ලියවී තිබුණේ වෙනත්ම දෙයකි. අතිශයින්ම සුන්දර තරුණියක් වූ කමලාට නොව ලොකු හාමු මහතාගේ සිත ගියේ අහිංසක රුවැති පෙනුමක් තිබූ සමදරා වෙතය. එලෙස ආදරයෙන් බැදුණු ලොකු හාමු මහතා, සමදරා හා විවාහ විය. එතැන් පටන් තමා පිළිබද අධික ලෙස හීනමානයක් පැවති කමලා රැකියා කළ ස්ථානයේ සිටි සුපරීක්ෂකවරයෙකු වූ සිරිපාල සමග විවාහ විය.
නමුත් සමදරා හා ලොකු හාමු මහතා මෙන් නොව මොවුන් දෙදෙනාට දැඩි ආර්ථික අපහසුතා පැවතිනි. තම ස්වාමියාට වැඩ කරන ස්ථානයේ නවාතැන් ගත හැකි වූවද, තමන්ට යාමට කිසිදු ස්ථානයක් නොමැති බැවින් කමලා දිනක් සමදරා සොයා පැමිණියේ උපකාරයක් බලාපොරොත්තුවෙනි.
සමදරා කමලාට බංගලාවේ නවාතැන් ලබා දීමට ලොකු හාමු මහතාගෙන් අවසර ඉල්ලා සිටියද, ඔහු ඊට අකමැති විය. එහෙත් කමලා පත්ව සිටි අසරණ තත්ත්වය තේරුම්ගත් සමදරා, ඇයට බංගලාවේ සේවිකාවක ලෙස හෝ නවාතැන් ලබා දීමට අවසර ලබා ගැනීමට සමත් වූවාය.
කලින් සහෝදරියන් සේ එකට හැදී වැඩුණු ඇය, අද සමදරාගේ සේවිකාවකගේ මට්ටමට වැටී සිටීම ගැන කමලාගේ සිත තුළ තිබුණේ දැඩි කෝපයක් හා වෛරයකි. එහෙත් තමන්ට රැඳී සිටීමට වෙනත් තැනක් නොතිබූ බැවින්, අකමැත්තෙන් වුවද එම තීරණයට එකඟ වීමට ඇයට සිදු විය.
නමුදු ඇගේ සිතේ මුල් බැසගෙන තිබූ හීනමානයත් ඊර්ෂ්‍යාවත් කිසි දිනෙක මැකී ගියේ නැත. ඒවා දිනෙන් දින තවත් වර්ධනය වූවා පමණි. ඇය සෑම විටම බලා සිටියේ සමදරාගෙන් තම පළිය ගැනීමට සුදුසු අවස්ථාවක් උදා වන තුරුය…
බංගලාවේ සිදු වූ කරදර සියල්ලේ අවසානය මෙයද? ඇනි අම්මා, ලොකු හාමු හා පොඩි හාමුගේ ඉරණම කෙසේ විසඳේවිද? මේ සියලු පැනයන්ට පිළිතුරු රැගෙන, සයවන දිගහැරුමෙන් නැවත හමුවන තුරු විමසිල්ලෙන් පසුවන්න…
