
බිනර පුර පසලොස්වක පොහොය දිනය සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි ශාසනික වැදගත්කමක් ඇති දිනයකි. මෙම පොහොය වස්සාන සමයේ මැද භාගයේ එනම් සැප්තැම්බර් මාසයේදී යෙදෙයි.
කරුණු කිහිපයක් නිසා බිනර පොහොය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂි දිනයකි. එනම් භික්ෂුණී ශාසනය ආරම්භ වීම, බුදුරජාණන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම කිරීම, එමෙන්ම තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගිරිහඬු සෑය ඉදිකිරීම, බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව තැම්පත් කර මහියංගණ මහා සෑය ඉදිකරවීම සහ අෂ්ඨ ගරු ධර්ම පැනවීම වැනි බෞද්ධ ශාසනික හා සංස්කෘතික කාරණා රාශියක් මෙම පොහොය දිනයේ සිදුවිය.
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පලමු දානය පුජා කල තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බෞද්ධ ශාසනයේ පලමු ශ්‍රාවකයන් ලෙස සැලකේ. ඔවුන්ගේ ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ තම හිස අතගා කේෂයන්ගෙන් කොටසක් ධාතූන් වහන්සේලා ලෙස ලබාදුන් බවත් පසුව ඔවුන් ලක්දිව වෙත වෙළඳාම් කටයුතු සඳහා පැමිණි අවස්ථාවේ දී නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ පිහිටි “තිරියාය” නම් ස්ථානයේ එම කේෂ ධාතූන් තැම්පත් කර සෑයක් කරවු බවත් පුජාවලිය වැනි බෞද්ධ සාහිත්‍ය මුලාශ්‍ර ග්‍රන්ථයන්ගේ සඳහන්ව ඇත.

බෞද්ධ ශාසනයේ සිදුවු සුවිශේෂි සිද්ධියක් වන භික්ෂුණි ශාසනය ආරම්භ වීම මෙම පොහොය දිනයේ සිදුවු සුවිශේෂම කාරණාවයි. බුදුරජාණන් වහන්සේගේ සුළු මව වු මහා ප්‍රජාපති ගෝතමී දේවිය කාන්තාවන්ට පැවිදි වීමට අවස්ථාව ලබාදෙන ලෙස බුදුරදුන් ගෙන් ඉල්ලීම් සිදු කල නමුත් එය ප්‍රතික්ශේප විය. අනතුරුව ආනන්ද හිමියන්ගේ මැදිහත් වීමෙන් එම ඉල්ලීම පිළිගෙන මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුමාරිකාවන් පිරිසක් පැවිදි විය. මෙය ලෝක බෞද්ධ ඉතිහාසයේම සුවිශේෂි සංධිස්ථානයකි.
එමෙන්ම, බිනර පොහොය හා සම්බන්ධ තවත් වැදගත් සිදුවීමක් වන්නේ කොසඹෑ නුවර භික්ෂුන් අතර මතභේදයක් ඇතිවු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ලබාදුන් අවවාද ඔවුන් පිළි නොගත් බැවින් උන් වහන්සේ පාරිල්‍යෙය වනයට වැඩම කිරීමයි. එහිදී පාරිල්‍යෙය නම් ඇත් රජු බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සලසමින් උපස්ථාන කල බවට ද එම වනයේම වාසය කල වදුරෙකු ද බුදුරදුන්ට ශ්‍රද්ධාවෙන් පුද සත්කාර කල බවද බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.
තවද, මහියංගණය සෑය ඉදිකිරීමද බිනර පොහොය දිනයක සිදුකරන්නට යෙදුන බව වංශ කථා හා බෞද්ධ මුලාශ්‍රයන්ගේ දැක්වේ. බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ ධාතුව තැම්පත් කර මහියංගණ මහා සෑය කරවු බව සඳහන්ය.
ඒ අනුව, බිනර පොහොය යනු එක් ශාසනික සිදුවීමක් පමණක් නොව බෞද්ධ ශාසනයේ විකාශණය, භික්ෂුණී ආරම්භය මෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය හා සම්බන්ධ වැදගත් දිනයක් ලෙස සැලකිය හැක. බුදු දහමේ ඉගැන්වීම් අනුව එහි හර පද්ධතීන් මනාව වටහා ගනිමින් තම දිවිය ඒ හා සමගාමීව යහපත්ව හැඩගස්වා ගැනීමටත් ඒ ආශ්‍රයෙන් පොදු සමාජය උදෙසා යහපතක් කිරීමටත් මෙම පොහොය දිනයේ අපි අධිෂ්ඨාන කර ගනිමු.

