You are currently viewing “හදවතට හොරෙන්” – දෙවන දිගහැරුම…

“හදවතට හොරෙන්” – දෙවන දිගහැරුම…

නමුත් විවාහයෙන් මාස කිහිපයක් ගත වී තිබුණද, චානුකත් ඉෂිනිත් තවමත් එකම වහලක් යට ජීවත් වූ ආගන්තුකයන් දෙදෙනෙකු වැනි වූහ.

එකම නිවසේ ජීවත් වුවද, ඔවුන්ගේ ජීවිත තිබුණේ වෙන වෙනම ලෝක දෙකකය.
උදෑසන චානුක කාර්යාලයට පිටත්ව යන විටත්, රාත්‍රියේ ඔහු නිවසට පැමිණෙන විටත්, දෙදෙනා අතර හුවමාරු වූයේ වචන කිහිපයක් පමණි. එහෙත් ඉෂිනි තමන්ගේ වගකීම් කිසිවක් අතපසු කළේ නැත.

නිවසේ වැඩ කටයුතු සියල්ලක්ම පාහේ ඇගේ අතින් අකුරටම ඉටු විය. නිවස පිරිසිදුව තබාගැනීමේ සිට, සෑම දෙයක්ම නිසි තැන තැබීම දක්වා ඇය ඉතා පිළිවෙළට කටයුතු කළාය. ඇය පැමිණීමට පෙර නිවස පෙනුණේ ලස්සන, නවීන නිවසක් ලෙස පමණි. නමුත් ඉෂිනි එහි ජීවත් වීමට පටන් ගත් පසු, එය ටිකෙන් ටික නිවසක් බවට පත්වෙමින් තිබුණි. නිවසේ පිටුපස තිබූ පුංචි ඉඩකඩක් පවා ඇය හිස්ව තැබුවේ නැත. විවිධ මල් පැළ, ඖෂධීය පැළෑටි සහ කුඩා එළවළු පැළ කිහිපයක් ඇය එහි සිටුවා තිබුණි.

ඒ අතරම… චානුක ගැනද ඇය නොදැනුවත්වම සැලකිලිමත් වන්නට පටන්ගෙන තිබුණි. මුලින්ම ඔහුගේ කෑම ගැන ඇයට කිසිදු අදහසක් තිබුණේ නැත. ඒ නිසා දවසක් ඇය චානුකගේ මවගෙන් ඔහු ගැන අසා දැනගත්තාය.

“චානුක කන්න කැමති මොනවද?”

“එයා වැඩියෙන් කැමති කෑම මොනවද?”

“අකමැති දේවල් තියෙනවද?”

ඒ ප්‍රශ්න අසන විට ඉෂිනිගේ හිතේ තිබුණේ විශේෂ දෙයක් නොවුණත්, ඒ කුඩා කුඩා දේවල් තුළින් ඇගේ සිතෙහි චානුක වෙනුවෙන් පුංචි හැඟීමක් දැනටමත් නිහඬවම මුල් බැසගෙන තිබුණි. ඒ නිසා ඔහු කැමති කෑමක් හදන්නට ඇයට හැකි සෑම විටම ඇය උත්සාහ කළාය. ඔහු අකමැති කෑමක් නම්, ඔහුට එය නොදැනෙන ලෙස වෙනත් කෑමක් සූදානම් කළාය.

චානුක ඒ කිසිවක් ගැන විශේෂයෙන් සිතූයේ නැත. උදෑසන මේසය මත තිබූ කෑම ඔහු කෑවේය. දවල් කෑම පෙට්ටිය අරගෙන කාර්යාලයට ගියේය. නමුත් ඒ සෑම කෑමක් පිටුපසම කෙනෙකුගේ කුඩා සැලකිල්ලක් තිබූ බව ඔහු කිසිදා සිතුවේ නැත. ඉෂිනිට අවශ්‍ය වූයේ ඔහුගෙන් කිසිවක් ලබාගැනීමට නොවේ. ඔහුගේ ආදරයවත්, මුදල්වත්, වත්කම්වත් නොවේ.

ඇය කළේ… තමන්ගේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් බිරිඳක් ලෙස කළ යුතු යැයි තම හිතට හැඟුණු දේ පමණි. ඒත් චානුකගේ දෑස් ඉදිරියේ ඉෂිනි තවමත් සිටියේ ඔහුගේ පියාගේ බලකිරීම නිසා තම ජීවිතයට පැමිණි “ගමේ කෙල්ල” ලෙසමය. ඇගේ නිහඬ සැලකිල්ල ඔහු දුටුවේ නැත. ඇගේ මහන්සිය ඔහුට දැනුණේ නැත. ඇය ඔහු වෙනුවෙන් කරන පුංචි පුංචි දේවල්වල සැඟවුණු හැඟීම ඔහුට කිසිදා වැටහුණේ නැත.

නමුත් කාලයත් සමඟ මොනතරම් නපුරු, අහංකාර මිනිසෙකු වුවත්, ඉෂිනිගේ මේ නිහඬ ක්‍රියාපිළිවෙල නිසා චානුකගේ හිතද නොදැනුවත්වම යම් තරමකට සෙලවී තිබුණි. මුලදී ඔහු ඇයව දුටුවේ තම පියාගේ බලකිරීම නිසා තම ජීවිතයට පැමිණි ගැහැණු ළමයෙකු ලෙස පමණි. ඒත් මාස ගණනක් ගත වන විට ඔහුට එක් දෙයක් තේරුම් ගන්නට පටන්ගෙන තිබුණි.

ඉෂිනි අනෙක් ගැහැණු ළමයින් වගේ නොවීය. චානුකගේ පෙනුමටත්, නමටත්, මුදල්වලටත් වශී වී ඔහුගේ පසුපසින් එන ගැහැණු ළමයින්ගෙන් ඔහුට කිසිදා අඩුවක් තිබුණේ නැත. ඔහුට වඩාත්ම කරදරයක් වූයේ ඔවුන්ගේ අවධානයයි. එහෙත් ඔහු සමඟ විවාහ වී එකම වහලක් යට ජීවත් වන ඉෂිනි ඔහුගේ අවධානය ලබාගැනීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. ඔහු සමඟ කතා කිරීමට බල කළේ නැත. ඔහුගේ ආදරය ඉල්ලා සිටියේ නැත. ඔහුගේ මුදල් හෝ වත්කම් ගැන කිසිදු උනන්දුවක් දැක්වූයේද නැත.

“මගෙන් මේ කෙල්ලට ඇත්තටම ඕන මොනවද?” කොතරම් සිතුවත් ඔහුට පිළිතුරක් සොයාගත නොහැකි විය.

ඉෂිනිට තමන්ගේ මුදල් අවශ්‍ය නැත. තමන්ගේ නම, බලය අවශ්‍ය නැත. එහෙනම් ඇය මේ විවාහය තුළ තවමත් මෙතරම් සන්සුන්ව සිටින්නේ ඇයි? කොහොම වුණත්, චානුක තමන්ගේ සිතේ ඇතිවෙමින් තිබූ ඒ වෙනස පිළිගැනීමට සූදානම් වූයේ නැත.

“ඒකි හොඳට රඟපානවා වෙන්න පුළුවන්.” ඔහු තමන්ටම කියාගත්තේ එලෙසය.

ඒත් ඔහුට නොතේරුණු එකම දෙය වූයේ… ඉෂිනි රඟපෑමක් නොකරන බවයි. තමන්ගේ වටිනාකම දන්න, තමන්ගේ දෙපා මත නැගී සිටිය හැකි, කිසිවෙකුගේ මුදල් හෝ බලය ඉදිරියේ හිස නොනමන ගැහැණු ළමයෙකි. චානුකගේ පසුපසින් කොතරම් ගැහැණු ළමයින් පැමිණියත්… ඉෂිනි කිසිදා ඔහුගේ පසුපසින් ගියේ නැත. ඔහුගේ අවධානය වෙනුවෙන් තරග කළේ නැත. ඔහුගේ ආදරය දිනාගැනීමට උත්සාහ කළේ නැත. ඇය තමන්ගේම සවියෙන්, තමන්ගේම ආත්ම ශක්තියෙන් ඉදිරියට ගියාය. ඒ නිසාම, තමන් වටා සිටි අනෙක් සියලුම ගැහැණු ළමයින් අතරින්… චානුකගේ දෑස් ටිකෙන් ටික ඉෂිනි වෙතම රැඳෙන්නට පටන්ගෙන තිබුණි. ඔහුට එය පිළිගැනීමට තවමත් බැරි වුණත්… ඉතාමත් සෙමින්, ඉතාමත් නිහඬව, ඔහුටත් නොදැනෙන්නටම ඉෂිනි ඔහුගේ හිතට ඇතුළු වෙමින් සිටියාය.

එක්තරා සන්ධ්‍යාවක චානුක සිටියේ ව්‍යාපාරික කටයුත්තක් අවසන් කර නිවස බලා එන ගමනේය. දවස පුරා පැවති වෙහෙස නිසා ඔහුගේ සිත තිබුණේ තරමක් නොසන්සුන්වය. මෝටර් රථය නගරයේ කාර්යබහුල වීදියක් ඔස්සේ ඉදිරියට ඇදෙමින් තිබුණි.
ආලෝක සංඥාව රතු වීමත් සමඟ රථය නතර විය. චානුක නිරායාසයෙන්ම වීදිය දෙස බැලුවේය.

ඒ මොහොතේ… ඔහුගේ දෑස් එකවරම නතර වූයේ හුරුපුරුදු රුවක් මතය.

“ඉෂිනි.” චානුකගේ නළල මඳක් රැළි වැටුණි.

ඇය පාසල් නිමවී සැලකිය යුතු වෙලාවක් ගතවී තිබුණි. ඇය, තවත් තරුණයකු සමඟ සිනහවෙමින් කතා කරමින් පාර මාරු වෙමින් සිටියාය.

“මේ කොහෙද?” ඔහුට නිරායාසයෙන්ම සිතුණි.

මේ ස්ථානය ඉෂිනි සේවය කරන පාසල අසල නොවන බව ඔහු හොඳින්ම දැන සිටියේය. රෙදිපිළි වෙළඳසැලක ලාංඡනය තිබූ බෑග් කිහිපයක් ඇගේ අතේ විය.

චානුකගේ දෑස් මඳක් සිහින් විය. ඔහුගේ හිතට කිසියම් නොහඳුනන හැඟීමක් ඇතුළු විය. චානුකට ඒ හැඟීමට නමක් දීමටවත් අවශ්‍ය නොවීය. ඔහුගේ ඇඟිලි සුක්කානම මත තද විය. තමන්ගේ බිරිඳ වෙනත් පිරිමියෙකු සමඟ මෙතරම් සැහැල්ලුවෙන් සිනාසෙමින් කතා කරන ආකාරය දැකීම ඔහුගේ සිතට කිසිසේත්ම පහසු නොවීය. එහෙත් එයට වඩා ඔහුට කරදර කළේ වෙනත් දෙයකි. ඉෂිනි ඔහුට ඒ ගැන කිසිවක් පවසා තිබුණේ නැත.

“කොහෙද යන්නේ, කාත් එක්කද යන්නේ කියලා මට කියන්න ඕනෙ නෑ කියලා හිතනවද?” ඔහුට නොදැනුවත්වම සිත තුළින් වචන ගලා ආවේය.

ඒත්… එකවරම ඔහුට මතක් වූයේ තමන්ම ඇයට පැවසූ වචන කිහිපයකි.

“තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා. මගේ වැඩවලට හොට දාගෙන එන්න එපා.” ඇගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රශ්න කිරීමට තමාට ඇති අයිතිය කුමක්ද? ඔහු ඇයව විශ්වාස කරන්නේද?

“නැත.” අඩුම තරමේ ඔහු එසේ සිතා සිටියේය. නමුත් ඇය වෙනත් පිරිමියෙකු සමඟ සිනාසෙමින් සිටිනු දුටු මොහොතේ… ඇය ගැන නොසිතා සිටීමට ඔහුට නොහැකි විය.

ආලෝක සංඥාව කොළ පැහැයට හැරුණි. පසුපසින් පැමිණි වාහනවල නලා හඬ ඇසුණි. චානුක මෝටර් රථය ඉදිරියට ධාවනය කළේය. නමුත් ඔහුගේ දෑස් ඉදිරියේ තවමත් තිබුණේ එකම දසුනකි.

ඔහු පිළිගැනීමට සූදානම් නොවූ ඒ හැඟීමේ සැබෑ හේතුව කුමක්දැයි දැනගැනීමට, තෙවන දිගහැරුමෙන් හමුවන තුරු රැඳී සිටින්න…

Leave a Reply