ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද විශේෂ සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසළොස්වක පොහොය දිනය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී වූ පොහොය දිනයකි.
බෞද්ධ සාහිත්යයේ සඳහන් වන පරිදි, බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව වැඩම කිරීමත්, මාතෘ දිව්යරාජයා ඇතුළු දෙවියන්ට බුදුදහමේ ගැඹුරු ධර්ම කරුණු රැසක් අන්තර්ගත වූ අභිධර්ම දේශනාව සිදු කිරීමත් මෙම වප් පුර පසළොස්වක පොහොය දිනයේදී සිදු වී ඇත.
එසේම, භික්ෂූන් වහන්සේලාගේ තුන්මසක් වූ වස් සමය අවසන් වීම ද මෙම පොහොය දිනයේදී සිදුවන තවත් එක් සුවිශේෂී කරුණකි. භාවනා කිරීම, ධර්මය හැදෑරීම සහ ආගමික කටයුතුවල නිරත වීම සඳහා වෙන් වූ මෙම කාලසීමාව වස් පවාරණය කිරීමේ චාරිත්රය සමඟ නිම වීම ද මෙදින සිදු වේ.
වස් සමයේ අවසානයත් සමඟ කඨින චීවර පූජා සමය ආරම්භ වේ. භික්ෂූන් වහන්සේලා හට කඨින චීවර සහ අනෙකුත් අවශ්ය දෑ පූජා කිරීම ඇතුළු තවත් විශේෂ වූ චාරිත්ර රැසක් මෙම සමය හා බැඳී පවතී. බෞද්ධ ජනතාවගේ ශ්රද්ධාව, සාමූහිකත්වය මෙන්ම කැපවීම වැනි ගුණාංග මැනවින් ඉස්මතු කරවීමට සමත් වන කාලසීමාවක් ලෙස මෙම පූජා සමය දැක්විය හැකි වීම ද විශේෂත්වයකි.
ශ්රී ලාංකීය භික්ෂුණී ශාසනය පිහිටුවීමට මඟ සැලසූ සංඝමිත්තා තෙරණියගේ ආගමනය උදෙසා දේවානම්පියතිස්ස රජු විසින් ධර්මාශෝක අධිරාජයා වෙත දූත පිරිසක් යැවීම ද සිදු වී ඇත්තේ මෙම වප් පොහොය දිනයේදීය.
ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසකට මුල් වූ මෙම පින්බර වප් පුර පසළොස්වක පොහොය දිනය ලොව පුරා වෙසෙන සියලු බෞද්ධ ජනතාවට ආශීර්වාදයෙන් පිරි පින්බර පොහොය දිනයක් වේවා!
