මතක සුවඳ

නිදාගන්නට දෙනෙත බලම කරනා නිසාවෙන් පූර්ව නිද්‍රා සමයට අදාලව බේබි සබන් වලින් මුහුණ දොවාගෙන, මුව පිරිසිදු කරගෙන, දෙපා සෝදාගෙන, දෑත් වල ක්‍රීම් ගල්වා කොණ්ඩය කරළකට කර බැඳගෙන සිරියහන වෙත ආමි.කුඩා කල පටන් “බිම බත් දාගෙන කෑ හැකි” තරමට පිලිවෙලට පිරිසිදුව කාමරය තියාගන්නා මාගෙ දෑසට එක්වරම ගෝචර වූයේ කාමරයේ නන්දෙසින් නානාප්‍රකාරයට බැඳ ඇති මකුළුදැල් ජාලයයි.

කාමරයේ සතරකොනත් ඇඳ අල්මාරි පොත් රාක්කය බිත්තියට යා වෙන හිඩසේද මෙම ජනාවාස මකුළුදැල් ශිල්පීන් නතු කරගෙන තිබුනේ මාගෙ කිසිඳු විමසීමකින් තොරව උන් උනුන්ගේ හිතු මනාපයටය. මහත් නොරිස්සුමකින් යුතුව හෙට දිනම මේවා ආක්‍රමණය කොට කාමරය එක්සත් කල යුතු යැයි අදිටන් කරගෙන ලයිට් එක ඕෆ් කර සිරියහනට එන්නට පා තිබ්බා පමණි.

කොහේදෝ සිට හීනියට කෑ ගසා විදානය කරන ආකාරයේ හඬක් ඇසුණි. “මේ අතට මේ අතට ඕං ඔතනින් පහලට” “ඔය කොහෙද ගෙනියන්නෙ කලියුගයෙ කුමාරය ලගට යන්ඩ එපා, කාන්තාරේ කුසුම ලගින් නවතින්ඩ ඔහෙලට ඇහෙන්නැද්ද මාව හැබෑට?” ආදියෙන් හීනි හඬක් බෙරිහන් දෙනු ඇසීමෙන් විසල් වූ දෙනෙතින් යුතුව කටත් අයාගෙන හඬ ඇසෙන දිශාවට නෙත් යොමු කලෙමි. කිසිත් පේන්නට නොවීය.

නමුත් යලිත්, ” ඕයි ඉක්මන් කරනවලා අර ගෑනි මේ පැත්තයි බලං ඉන්නෙ, ගමනට බාධා කරන්ඩ කලියෙන් ගුල වෙත යමල්ලා” යි කීවෙන් පොත් රාක්කය දෙස වඩා අවධානයෙන් බැලීමි. පුදුමයකි! එහි වූයේ ඊයේ කා ඉතුරු කොට තැබූ කෝපි කේක් කැබැල්ලක් උර මත තියාන හනි හනිකට ගමන් කරනා කුහුඹුවන් රැලකි. බෙරිහන් දිදී අණකරන්නේ මුන්ගේ නායකයා විය යුතුය. ප්‍රමානයෙන් විසාල කුහුඹුවෙකු වූ ඌ අතැතිව කුඩා නයිලෝන් නූල් කැබැල්ලක්ද හිස පැලඳගත් මගේ කසල බඩු එකතුවෙන් සොරා ගත් ස්වීකුයින්ස් තරුවක් යැයි සිතිය හැකි ආභරණයක්ද විය. සැනෙකින්ම සියල්ල අවබෝධ කරගත් මට, කුහුඹුවා “අර ගෑනි” යනුවෙන් හැඳින්වූයේ මා යැයි තේරුම් ගැනීමටද අපහසු නොවීය. මා උන්ට බාධා කිරීමට කලියෙන් හනිකට දිව ගිය උන් මාගෙ ප්‍රියතම පොතක් වූ වාරිස් ඩයරිගේ කාන්තාරයෙ කුසුම ලඟින් නොපෙනී ගියේය.

කොහේ ගියාදැයි බැලීමට පොත අතට ගෙන රාක්කය දෙස බැලූ විට එතැනින් පහල කුහුඹුවන් පිරිසක් සාකච්ඡාවකය. තවත් පිරිසක් දාං අදිමින් සිටි අතර පායනා කාලෙදී කන්ට දේ රැස් කරන්නට ගිය මාහට මගදී හමුවුන පිරිස පොත් රාක්කයේ කොනකම විය. තරුවක් පැළඳගත් අර තඩි කූඹියා පිරිසක් අමතමින් සිටි අතර කතා විලාසයෙන්ම ඌ සමාජවාදී කුහුඹුවෙකැයි අනුමාන කලෙමි. මා බලන් හිඳිනා වග තඹේකට මායිම් නොකල උන් උන්ගේ කතා වල නිරත විය.

මේ මගේ කාමරයමදැයි මට මොහොතකට සැක සිතුණි. මකුළුවන්ද මේ හා සමානවම සංවිධානය වනවාද එවිට මේ කාමරයේ මා කවුදැයි සිතා අතට ගත් කාන්තාරයේ කුසුම රාක්කයෙන්ම තියන්නට යද්දී අතේ තැවරී තිබූ දුහුවිලි තලිය දැක පොත අතහැරෙන්නට ගොස් අල්ලාගත්තේ අනූනවයෙනි. මෙතරම් දුහුවිලි කන්දරාවක්?.. මා අවසන් වතාවට කාමරය පිරිසිදු කොට පොත් රාක්කය පාවිච්චියට ගත්තේ කවදාදැයි පැනයක් අකුණු සැරක් මෙන් හිස මතට කඩා පාත් විය. එලෙසටම සීරුවට ඇඳට විත් බිත්තයට හේත්තුව මා කල්පනා කරන්නට වූයේ සැබෑටම අවසන් වරට පොතක් කියැවූවේ කවදාද කියායි. අදින් වසර ගණනාවකට ඉහතදී මා කුඩා කෙල්ලකව සිටි කාලයේ සතියකට කෙසේ හෝ පොත් දෙක තුනක් කියැවීමේ පිපාසාවකින් පෙළුනු බව මට මතකය. මහා පාන්දර වෙනකන් එක් පොතක් හමාර කරන්නට එක දිගට කියැවූ දවස් එමටය.

ඉන් පසු උසස් පෙල, විශ්වවිද්‍යාල සිහින කඩා පාත් වීමත් සමඟ පොතක් පිපාසාවෙන් යුතුව කියැවීමට නොලැබුනා නොවේදැයි මහා බර කල්පනාවක් සිතට එන්නට විය. ඉන් අනතුරුව අනිත් අතට මීට අවුරුදු කිහිපයකට කලින්, මා කෙතරම් නම් කාමරය අස් පස් කරනවාද මකුළු දැල් කඩනවාද පිච්ච මල් සුවඳ හමන දියර දදා කාමරය මදිනවාද නමුත් දැන්?…. මෙය වහාම හරිගැස්සවිය යුතුයැයි දැඩි මනසකින් යුතුව ඇඳේ ඇලවුණෙමි.හෙට අලුත් දවසක්ය. කාමරය උදෑසනම දැඩි පරීක්ෂාවට ලක්කොට අනවසර පදිංචි කරුවන් පිටුවහල් කිරීමට නියමිතය. හෙට අරුණැල්ලේම උන් හිටි තැන් අහිමි වන්නේ “අර ගෑනි” යැයි මට පවසා ගුලට ගොස් උදම් ඇනූ තඩි කූඹියාටැයි සිතා දෙනෙතට අවනතව දෑස් පියාගත්තෙමි.

Image courtesy: https://images.app.goo.gl/dY6cpEmaLoGK4w3W6

Rtr.Sandani Withanage

+ posts

Leave a Reply