You are currently viewing තාත්තාට.

තාත්තාට.

මම අකුරු කරන්න අත පොත තිබ්බේ කතෝලික convent එකක.. මට මතකයි මාව තාත්තා මොන්ටිසෝරියට භාර දීලා යද්දි මම ඇඬුව හැටි..Sisterමාව හයියෙන් අල්ලගෙන ඉද්දී තාත්තා මාව දාලා දුවන හැටි ..මට අද වගේ මතකයි.

චුට්ට චුට්ට ලොකු වෙලා .සුමංගල බාලිකාවේ එක වසරට අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලිලා ගිය හැටි වගේම ලොකු prefect අක්කලා රෝස මලක් දීලා මාව ඇතුලට එක්කන් ගිය විදිහත් මට මතක් වෙනවා.එදත් මං අඬලා අඬලා පංතියෙන් පැනලා තාත්තව හොයන් එද්දි මාව uncle කෙනෙක් වඩන් ගිහින් තාත්තට දුන්නා. ඒ වෙලාවෙ අම්මයි තාත්තයි දෙන්නම හිටියේ main hall එකේ parents meeting එකක..තාත්තා හැමදාම ගෙදර එන්නෙ නැහැ.ඒ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන නිසා.අම්මා කියනවා, ඉස්සර තාත්තා ගෙදර එන්නෙ නැහැ කියද්දි මට උණ හැදෙනවලු..

         ටිකෙන් ටික ලොකු වෙද්දි ,සමාජෙ ගැන දැනගද්දි මට තාත්තව මඟ ඇරෙනවා වගේ දැනුනා.ආදරේ නැති කමට නෙවෙයි.දැන් තාත්තා ගෙදර එන්නෙ නැහැ කියද්දී මං අඬන්නෙ නැහැ..මං දැන් දන්නවා ගෙදර එන්න පුළුවන් නම් තාත්තා නෑවිදින් ඉන්නෙ නැහැ කියලා.හරියටම ගිය අවුරුද්දේ පෙබරවාරි 15 මාව කැම්පස් එකට ඇරලවන්න අම්මයි තාත්තයි දෙන්නම ආවා.අම්මා මට call එකක් අරං කිව්වා ..මාව හොස්ටල් එකට බස්සලා යද්දී තාත්තා මඟ දිගටම ඇඬුවා කියලා.එතන ඉදන් දවස් හතරක් පහක් යද්දිත් තාත්තා සැරින් සැරේට ඇඬුවලු.අම්මා කිව්වා හරියටම ඒ විදිහටම මොන්ටිසෝරියට මාව භාර දීලා ඇවිල්ලත් තාත්තා ඇඬුවලු.අම්මා කියනවා අදටත් මං ගෙදර ඉඳලා කැම්පස් යනවනම් මාව කෝච්චියට ඇරලවලා ගිහින් තාත්තා අඬනවලු.

               මම කවමදාකවත් තාත්තා අඬනවා දැකලා නැහැ.මගේ හිතේ තාත්තගේ රූපේ තියෙන්නෙ කිසිම පුද්ගලයෙකුට ළඟා වෙන්න බැරි තරම් ලොකු උසකින්.ඒක බයක්,ගරුත්වයක් වගේම ලොකු ආදරයක්.

ඉස්සර තාත්තාට ගෙදර එන්න බැරි වෙද්දි වගේ..මාව ඉස්කෝලෙට භාර දුන්න දවසේ වගේ..දැන් කැම්පස් යද්දි මං අඬන්නෙ නැහැ.දැන් තාත්තා ගෙදර ඉන්නකොට මම ගෙදර නැහැ.මං ගෙදර එනකොට තාත්තා ගෙදර නැහැ. ඒත් එදා මොන්ටිසෝරියට ඇරලවලා ගිහින් ඇඬුව විදිහටම තාත්තා අදටත් මාව කැම්පස් ඇරලවලා ඇවිල්ලත් අඬනවා.

         තාත්තා කියන ප්රති රූපේ ඇතුලේ මම දැකලා තියෙන නීතියට තිතට වැඩ කරන,අඩුවෙන් හිනා වෙන,ඕනම කෙනෙක්ට තමන්ගේ උපරියම දෙන්න උත්සාහ කරන ,හැමෝටම යුතුකම් නිවැරදිව ඉටු කරන තරමක් තද ගති පැවතුම් ඇතුලේ ඒ හැම දේකටම වඩා දෙවනි නොවෙන තරම් සංවේදි ගති පැවතුම් තියෙනවා කියලා මට දැනුනේ අම්මා නිසා.

      ඉතින් ..මගෙයි තාත්තගෙයි ආදරේ තමයි මේක..මේ ලෝකෙ තියෙන ශක්තිමත්ම ආදර කතා තියෙන්නෙ තාත්තලයි දූල යි අතර කියලා මම විශ්වාස කරනවා. අපි පහු කරපු කඩයිම් වගෙම එකී මෙකී නොකී හැම බැඳීමක් අස්සෙම අපිට වාරුවක් වෙවී ,අපිට නොපෙනෙන දුරකින් ඉඳන් අත්වැල් අල්ලන්න වගේම කොන්දේසි විරහිතව ආදරය, රැකවරණය දෙන්න පුළුවනුත් තාත්ලට විතරමයි..

~Rtr. Jayani Anushika Perera

+ posts

Leave a Reply