You are currently viewing අදටත් එහෙමයි

අදටත් එහෙමයි

පිලිකන්නෙ වාඩි වෙලා කඩුල්ල දිහා ඇස් පිය නොහෙලාම බලන් හිටියෙ, ගොම්මන් කලුවර වැටෙන්න කලින් වෙනදා එන අම්මා තාමත් ආවෙ නැති හින්දා. දවල්ට තේ බොන්න දෙන රොටිය අපි දෙන්නට දිලා එයා කහට උගුරක් විතරක් බිලා බඩගින්නෙ හිටිය දවස් ගාන මෙච්චරයි කියන්න අදටත් මට රහසක්. අපි කෑවද බිව්වද ඉන්නවද මැරිලද බලන්නවත් අපේ තාත්තා අපි එක්ක සම්බන්ධයක් තිබුනෙ නැති තරම්. අපේ තාත්තත් එක්ක අපිට සුන්දර මතක තිබුනෙම නැති තරම්, කටගොන්නක් බීගෙන ඇවිත් අම්මත් එක්ක රණ්ඩු වෙලා හැමදාම නිදි පැදුරට ගිය මතක ඇරැනම. අපේ බඩ කට පුරවන්න අම්මා දවල් රැ නොබලා මහන්සි වෙනකාට මට දෙවෙනි අම්මා වුනේ මගේ අක්කා. “මල්ලි ඉගෙන ගත්තොත් විතරයි මේ අපායෙන් ගොඩ එන්න පුළුවන්” කියලා රැයක් දවාලක් නැතුව කියවපු දේ ගැන එදා හරි හැටි අවබෝධයක් නැති වුනාට අද ඒ වාක්‍ය මට මහ මෙරක්. එන්න එන්නම තාත්තගේ කරදරේ උහුලන්නම බැරි තැනට ඇවිත් තිබුණා. අපේ අම්මා තරම් ධෛර්‍යවන්ත යකඩ ගැහැනියක් මං මේ ලොකේ දැකල තිබුනේ නෑ. අක්කා මගේ දෙවෙනි අම්මා වෙද්දි නංගි තමයි මගේ මුළු ලෝකෙම වුනේ. ඉස්කොලේදි කියල දෙන හැම කවියක්, හැම කතන්දරයක්ම මං ඇවිත් කිව්වෙ නංගිට. තොරතෝංචියක් නැති මගේ කියවිල්ල නැටුම් ගැයුම් හැම දෙයක්ම අහගෙන හිටියෙ චුටි නංගි තමයි. මොකද අක්කට තිබුණෙ නැහැ වෙලාවක් මගේ කවි කතන්දර අහගෙන ඉන්න. හැබැයි පුළුවන් හැම වෙලාවකම එයත් අම්මට පස්සේ දෙවෙනි අම්මා වගේ මාව රැක බලා ගත්තා.

එදා අගෝස්තුවේ එක්තරා දවසක්. මට හරියටම මතක නැහැ, හැබැයි අම්මා කිව්වේ ශිෂ්‍යත්ව විභාගෙ දවස කියලා. උදේ පාන්දරම මාව ඇහැරලා පුංචි ආච්චිගෙ කඩෙන් ආප්ප දෙකක් ගෙනල්ලා, වෙනදා ආප්ප කෑල්ලක් දෙන අම්මා මට එදා ආප්පයක්ම දුන්නා. දීලා කිව්වා ඔලුවත් අත ගාලා “මගේ පුතා විභාගේ හොදට ලියන්න” කිව්වා. මට විභාගෙ හොදට ලියන්න ශිෂ්‍යත්ව විභාගය කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධයක් තිබුනෙ නැති වුණාට මට තේරුණා යන්තමින් හරි ජීවිතේ ඒක වැදගත් අවස්ථාවක් කියලා. මොකද අපේ අම්මා ජීවිතයේ වැදගත් අවස්ථාවක් හින්දා තමයි වෙනදා වගේ කෑල්ලක් දෙනවා වෙනුවට මට ආප්පයක් ම ගෙනත් දීලා ඔලුවත් අත ගාලා “මගේ රත්තරං පුතා හොඳට විභාගෙ ලියන්න” කියලා කිව්වේ ඒ නිසා තමයි. අම්මා ආප්ප කෑල්ලක් දුන්නේ ආදරේ අඩුවක් නිසා නෙවෙයි එච්චර දෙන්න තරම්වත් වත්කමක් අපේ අම්මට තිබුනේ නැති නිසා. අපි ඉන්නවද කෑවද බිවද උන්නද මලාද කියලවත් අපේ තාත්තාට ගානක් තිබුණේ නැහැ. අම්මා තමයි හැමදෙයක්ම අපි ගැන හොයලා බලලා අපේ බඩ කට පිරෙව්වේ. අම්මගේ ආශිර්වාදයත් එක්කලම බුදු පහන තියලා අක්කට වැදලා ගෙදරින් පිටත් වුණා. විභාගය ලියන්න යන්න අනිත් හැමෝගෙම වගේ අම්මලා විභාගය ලියන්න ඉස්කෝලේ යන්න ඇවිත් තිබ්බා. ඒක දැක්කම මට පුංචි දුකකුත් ඇති වුණා. හැබැයි පස්සේ හිතුනා අද අපේ අම්මත් මාත් එක්ක විභාගය ලියන තැනට ආවනම් අද අපි තුන්දෙනාටම ඉන්න වෙන්නෙ බඩගින්නෙ කියලා. විභාග ශාලාවෙන් එලියට ඇවිල්ල පිම්මට ගෙදර දුවන්න, පාර පැනලා එහා පැත්තට යද්දි මතක් උනා වෙනදා වගේම චූටි මං අයිස් පැකට් එකක් අරන් එනකම් බලාගෙන ඉන්නවා කියලා.

“මුදලාලි මාමෙ මට රුපියල් දෙකේ අයිස් පැකට් එකක් දෙන්න”

“පුතා වෙනදා ගන්න ඡාතියේ අයිස් පැකට් නම් අද නැ. මේ ඡාතිය තමයි තියෙන්නෙ”

“කමක් නෑ මුදලාලි මාමේ. ඕකෙන් එකක් දෙන්නකෝ”.

චූටි නංගි වැඩියෙන්ම ආස රුපියල් දෙකේ අයිස් පැකට් එකට, හැබැයි ඒක තිබුනෙ නැති නිසා කමක් නෑ කියලා මුදලාලි මාමා දුන්න දේ ගත්තා. ගුරු පාරෙන් හැරිලා වෙනදාටත් වැඩිය වේගෙන් ගෙදර දිව්වෙ චූටිගෙ අයිස් පැකට් එක දියවෙන හින්දා. කඩුල්ලත් පැනලා දුවගෙන යනකොට දැක්කා කවදාවත් නැතිව අපේ ගෙදර කට්ටිය ගොඩක් එකතු වෙලා ඉන්නවා. හැමෝම බලාගත්ත අත බලාගෙන හිටියා .සමහරැ හයියෙන් විලාප දිදි අඩනවත් පේනවා. වුනේ මොකක්ද කියලා හරියටම හිතාගන්න බැරිව මාත් දෙලොවක අතරමං වුනා වගේ දැනුනා. අඩියට දෙකට ගේ දිහාට ගියා නෙවෙයි, ඒ සිද්ධිය මාව ඇතුලට ගෙනිච්චා වගේ දැනුනා. මට වෙනදා මන් එනකන් කඩුල්ල දිහා බලන් ඉන්න ඒ ඇස් දෙක පේන්න නැති වුනාම වචනවලට පෙරලන්න බැරි මොකද්ද ලොකු දුකක් දැනුනා. මට අක්කා, අම්මා, ගෙදර මේ කවුරැවත්ම පේන්න හිටියේ නැ “අනේ ඒකිට මේ දරුවො දෙන්න ගැනවත් හිතන්න තිබ්බා” කියලා පහළ ගෙදර පොඩි මැණිකේ ආච්චි කියනවා මට ලාවට වගේ ඇහුනා ඒත් ඒ දේ තේරුම් ගන්න තරම් මට කල්පනාවක් තිබුනේ නැ. හැමෝගෙම මුණුවලින් කියවුනේ ‘මේ පුංචි එකා පව්’, කියන වගේ අනුකම්පා සහගත හැඟීමක්. මං ගෙදර පුරාම හෙව්වෙ නංගිවයි, අම්මායි, අක්කවයි. හැබැයි නංගියි අම්මයි පේන්න හිටියේ නෑ. අක්කා කුස්සියේ මුල්ලක ඉඳගෙන හයියෙන් ඉකි ගහනවා ඇහුණා. අතේ ගුලි කරගෙන ආපු රැපියල් දෙකේ අයිස් පැකට් එක එහෙම දියවෙලා ගිහිල්ලා. “අක්කෙ, චුටියි.. අම්මයි..” කියන්න විතරයි වුනේ, අක්කා මාව තුරුලු කරගෙන හයියෙන් ඉකි ගහ ගහ අඬන්න ගත්තා. ඒ ඉකි ගැහුම්වල සද්දෙට ඉබේම මටත් ඇඬුණා. තාත්තගෙ කරදර හිරිහැර ඉවසගන්නම බැරිව මෙහෙම තීරණයක් අම්මා ගන්න ඇති කියලා තමයි හැමෝම කිව්වෙ. අම්මා අක්කවයි මාවයි සදහටම මේ ලෝකෙ තනි කරලා ගිහින් තිබුණා. මේ මිනිස්සුන්ගෙ උදව් උපකාර ඇතිව මළ ගෙදර වැඩ කටයුතු ටික සේරම වගේ ඉවර වුණා.

ඒ දවස් දෙක තුන කියන්නේ තනිකරම හීනයක් වගේ. මං හිතන්නේ දැන් තමයි ජීවිතේ අමාරුම දවස් පටන් ගන්නෙ. තාත්තත් එක්ක මායි අක්කයි ඒ වහල යට සදහටම තනිවුනා. අම්මා නැති වුණාට පස්සේ තාත්තා කවදාවත් නැතුව අපි දෙන්නාට ගොඩක් සමීප වුනා. කන්න බොන්න ගෙනත් දුන්නා, ආදරෙන් බලා ගත්තා, ළඟට වෙලා හිටියා. ජීවත් වෙලා ඉන්න කාලේ අම්මට ආදරෙන් වචනයක්වත් කතා කරපු නැති තාත්තා කාලයත් එක්කම අම්මා නැති සාංකාවටද කොහෙදෝ හරි ඉක්මනට අසනීප වෙන්න පටන් ගත්තා.
ජීවිතේ හරි පුදුමයි ජීවත්වෙලා ඉන්න කාලයේ අපේ ලඟින් ඉන්න ආදරණිය මිනිස්සුන්ට ආදරෙන් වචනයක් හරි කතා කරන එක කොච්චර ලොකු සැනසීමක් ද කියලා මට තේරුනේ එදා. මොකද අපේ අම්මා හැමදාම රැයක් දවාලක් නැතුව හීල්ලුවේ එයාට දයාබර සැමියෙකු වගේම අපිට ආදරණිය තාත්තෙක් නැති වීම ගැන තමයි. එයා අපිට ආදරණීය තාත්තෙක් වුන හැටි එයාගේ ඇස් දෙකෙන්ම බලන්න එයාට වාසනාව නැති වුණා. මට අදටත් හිතාගන්න බෑ අපේ අම්මා චුටිත් අරගෙන ඇයි අපිව තනිකරලා මේ ලෝකෙන් යන්න ගියෙ කියලා. තාත්තට සතුටින් අපි එක්ක ඉන්න පුලුවන් උනේ හරිම ටික කාලයයි. අම්මගේ ලෝකෙටම තාත්තත් අරගෙන ගිහින් තිබ්බේ, දෙවියෝ අපි දෙන්නම මේ පාර නම් සදහටම තනිකරලා.

ඒත් එක්කම ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඇවිත් තිබ්බා. පහුවදා උදේ ඉස්කෝලෙට ගියාම, ප්‍රින්සිපල් සර් කිව්වා “මේ පාර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වෙලා තියෙන්නෙ කවිඳු” කියලා. ඒක අහපු ගමන් මට මතක් වුනේ අක්කව. දුවගෙන ගිහින් අක්කට මේක කියනකම් මට ඉවසිල්ලක් නැ. “කවිඳු පුතාට දැන් පුලුවන් අපේ ඉස්කෝලෙන් ටවුමේ ඉස්කෝලේට යන්න”. ටවුමෙ ඉස්කෝලෙට යන්න මට ආසාවක් තිබ්බේ නෑ. ප්‍රින්සිපල් සර් ඒක කියපු වෙලා ඉඳලා මගේ හිතේ තිබුණේ අක්කට මේ සුබාරංචිය කොයි වෙලාවෙද කියන්නේ කියන එක. කඩුල්ල පැනලා ඉක්මනට අඩියට දෙකට ගෙට දිව්වෙ අක්කට මේ සුබ ආරංචිය කියන්න. 

“අක්කේ අක්කේ මම තමයි අපේ ඉස්කෝලෙ ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම පාස් වෙලා තියෙන්නෙ.”

අක්කා අත් දෙකෙන්ම මාව බදා ගත්තා. අක්කා සතුට වැඩි කමටද කොහෙද හයියෙන් අඩන්න ගත්තා. 

‘අද අම්මයි තාත්තයි හිටියනම් කොච්චර සතුටු වෙයිද, නේද මල්ලි?’ 

එහෙම දෙයක් කටින් නොකිවාට ඒ මූණෙ එහෙම දෙයක් ලියවෙලා තියෙනවා මට පෙනුනා. ඇත්තටම අම්මායි තාත්තයි හිටියනං කොච්චර සතුටු වෙයිද කියලා මටත් හිතෙනවා අක්කට නොකිව්වට. සතුට දුක මැදින් ජීවිතය ඔහොම ගලාගෙන යද්දී අක්කා තීරණය කරනවා මට හොඳට උගන්නන්න කියලා ලොකු ස්කෝලෙට දාන්නත්. එයාගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන මට උගන්නනවට මගේ හිතේ කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් අක්කගේ එකම හිනේ  වුණේ මට උගන්නලා මාව උස් මහත් කරලා කවද හරි ඩොක්ට කෙනෙක් වෙනව දකින එක. මොකද මගේ අම්මගේ එකම හිනේ වුණෙත් මම දොස්තර මහත්තයෙක් වෙන එක. ‘මේ ඉන්නෙ මගේ පොඩි දොස්තර මහත්තයා’ කියලා තමයි හැමදාම ඉන්නකම් කිව්වේ. කාලය හරි වේගෙන් ගෙවිලා ගියා. ඔහොම ජීවිතෙත් ගෙවිලා යනකොට සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ කරන්න මම ජිව විද්‍යා අංශය තෝර ගන්නවා. ඒ අක්කගෙ අම්මගේ එකම හීනය වෙච්ච, දොස්තර මහත්තයෙක් වෙන හීනේ සැබෑ කරලා දෙන්න. ඒත් එක්කම සාමාන්‍ය පෙළින් පස්සේ අක්කා මාව දන්න කියන නෑදැ ගෙදරක නතර කළා. අම්මාගේ හරි තාත්තගේ හරි දන්න කියන නෑදෑ කෙනෙක්ට කියලා අපිට හව්හරණකට කියලා හිටියේ එච්චරයි. සාමාන්‍ය පෙළින් පස්සේ අධ්‍යාපන කටයුතු නතර කරන්න කියලා හිතාගෙන හිටපු මට අක්කා කියනවා, උසස් පෙළ කරලා මගේ අධ්‍යාපන කටයුතු ඉදිරියටම කරගෙන යන්න කියලා. අක්කා ඒ හැම දෙයක්ම බලාගන්නන් කියලත් කියනවා. අම්මා තාත්තා නැතුව මල්ලි කෙනෙක් විදිහට අක්කා බලාගන්න ඕන කාලෙ, අක්කට මාව බලාගන්න ඕන එක ගැන මට හරි දුකයි. හැබැයි අක්කගේ දැඩි බලකිරීම් නිසා මම ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරනවා. ඒ වෙනකොට මම නෑදෑ ගෙදර තමයි නතර වෙලා හිටියේ. කාලය හරි ඉක්මනට ගෙවිලා යනවා. අක්කා හැම දෙයක්ම බලා ගන්නම් කියල හැම මාසයක් පාසාම මට සල්ලි එවලා තිබ්බා. මම අහන හැම වෙලාවෙම අක්කා කිව්වේ එයා එයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න ගමන් තමයි මට ඉගනගන්න සල්ලි එවන්නෙ කියලා. අක්කා මගේ වියදමට සල්ලි එවලා තිබුණු කිසිම දවසක ඒ ලියුම් කවරේ ඇඩ්රස් එක සඳහන් කරල තිබ්බෙ නෑ.

ජීව විද්‍යා අංශයෙන් ඉහළම විදිහට සමත්වෙලා කොළඹ වෛද්‍ය විද්‍යාලයට තේරුණ දවසේ මටත් වඩා වැඩියෙන් සතුටුයි වුණේ අක්කා. එයාගේ ජීවිතේම අම්මගෙ තාත්තගෙ නැති වීමෙන් පස්සේ කැප කරල තිබුණේ මං වෙනුවෙන්. එහෙම හරියට බැලුවොත් ඇත්තටම මගේ ජීවිතේ හැම ජයග්‍රහණයකම හරිම අයිතිකාරයා අපේ අක්කා එදා ඒ ඇස්වල  තිබ්බ සතුටු කඳුළු අක්කට හරියටම මුලු ලෝකෙම ලැබුන වගේ දැනුනා.  වෛද්‍ය විද්‍යාලයේ ඉන්න ගමන් දෙවෙනි අවුරුද්දේ වගේ මගේ ජීවිතය වෙනස් කරන්න පුලුවන් හරි චාම් අහිංසක කෙල්ලෙක් මට මුණ ගැහෙනවා. නමින් ඒ අහිංසක චාම් කෙල්ල තමයි නිශා. නිශාව හම්බුනාට පස්සේ මං අක්කට කියනවා නිශා ගැන. ඊට පස්සේ අක්කා කියන්නෙ මේවා ඉක්මනට පිළිවෙලක් වෙන්න ඕනිලු. 

“මල්ලි අපේ ගෑනු ළමයගේ ගෙදරත් එක්ක කතා කරමු”.  

නිශායි මායි කියන්නේ හරියට අහසයි පොළවයි වගේ. අතට පයට වැඩකාරයෝ එක්ක හැදුනු එයාගෙ පවුලෙන් මට කැමති වුණු එකම ලොකු දෙයක් කියලා වෙලාවකට මට හිතිලා තියෙනවා.

ජීවිතයේ මේ වෙනකන් මගේ පස්සෙන් හෙවණැල්ල වගේ හිටපු අක්කා, වෙනදා වගේම මේ සැරේත් හැම දෙයක්ම ලෑස්ති කරලා තිබ්බා. ජීවිතයේ වැදගත් අවස්ථාවක් වුණත් හදිසියේම තියෙන වැඩක් හින්දා අක්කට එන්න බැරි වෙනවා කියලා ලියමනකින් දන්වලා එවලා තිබ්බා. හැමදේටම මගෙමයි කියලා එයා විතරක් ඉද්දි මේ දේට ආවෙ නැති නිසා හිතේ පුංචි දුකකුත් තිබ්බා. හැබැයි අක්කට හදිසි ම වැඩක් නිසා. අත්‍යාවශ්‍යම කරුණක් කියපු නිසා කරදර කරන්න ගියේ නැහැ මම. මගේ පැත්තෙන් මගෙමයි කියලා නැන්දයි මාමයි සහභාගි වුණා. තියන සිරිත් විරිත් ටික ඉවර කරලා හැමෝම කතා බහ කර කර ඉද්දි, ඔය අතර තමයි තේ පැන් සංග්‍රහයට හැමෝම සූදානම් වුණේ. තේ එක ගන්න ලෑස්ති වෙනකොට නොදැනුවත්වම වගේ එකපාරටම තේ එක අරගෙන ආපු කෙනා ගේ අතේ මගේ අත වැදුනා. හුරුපුරුදු අතක් නිසා මූණ දිහා බැලුනේ ඉබේටමයි මට.
දෙයියනේ ඔව් මං හිතුවා හරි. අද වෙනකම් ජීවිතේ මේ තැනට එන්න දුන්නු අත එච්චර ඉක්මනට කොහොම අමතක වෙන්නද!
ඔව්, ඒ මගේ ආදරණී ය අක්කා. මගේ අනාගතය වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරපු අක්කා.

අදටත් එහෙමයි ඒ ආදරේ!

This Post Has 6 Comments

  1. Kaveesha

    Nice story ❤

  2. Gangadaran Kandakumar

    Beautifully written ❤️✨

    1. Adeesha

      Amazing ❤️

  3. imasha

    Heart touching story 😍

  4. Isiri

    Nicely written ❤

  5. Sathini Nithara

    Heart melting 🥺❤

Leave a Reply