
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූව ග්‍රාමයේ උපත ලැබූ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළ, මහත් ජනප්‍රියත්වයට හා ගෞරවයට පාත්‍ර වූ ගායිකාවකි. ඇයගේ මිහිරි ගී නාදය දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් සනසමින්, සංගීත ලෝකයේ අමරණීය සලකුණක් තැබීමට සමත් විය.
ඇයගේ මූලික අධ්‍යාපනය අලුත්ගම ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන් ලැබූ අතර, වැඩිදුර සංගීත අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විද්‍යා පීඨයට ඇතුළත් වූවාය. කරුණාරත්න අබේසේකරයන්ගේ ජනප්‍රිය “ළමා මණ්ඩපය” වැඩසටහන හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි ඇය එහිදී ගායනා කළ “බුදු සාධූ” ගීතය මහත් ජනප්‍රියත්වයට පත් විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වන “රන්මුතු දූව” සඳහා පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ නාරද දිසාසේකර මහතා සමඟ “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කිරීමට ඇයට අවස්ථාව හිමි විය. එම ගීතය අදටත් ජනතා හදවත් තුළ ජීවමාන වන අමරණීය නිර්මාණයක් ලෙස සැලකේ.
එලෙස ඇරඹුණු සංගීත ගමන තුළින් ඇය ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට නොමැකෙන කලා නිර්මාණ රැසක් දායාද කිරීමට සමත් වූවාය.
“පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍ය ගීතය”, “පවන”, “හේමන්තයේදී”, “තාරුකා ඇස්”, “පාවෙනා සින්දු හෝඩිය”, “කිඳුරියකගේ විලාපය”, “මඳු බඳුන්”, “මල්මඳ බිසව්”, “කිරිමදුවැල්”, “හඳහාමි”, “සංඛ පද්ම”, “පෙම්බර ලංකා”, “කුංකුම පොට්ටු”, “අරලිය ලන්දට”, “මලට රේණු” සහ “නිලම්බරේ” ඇතුළු ගීත රැසක් ඇයගේ කලා දිවියේ අමරණීය සලකුණු බවට පත්ව ඇත. ඇයගේ සංගීත දිවිය එක් පැතිකඩකට පමණක් සීමා නොවීය. දේශාභිමානය උද්දීපනය කළ ගීත, සමාජ හා දේශපාලන යථාර්ථයන් අර්ථ ගැන්වූ ගීත, ආගමික භක්තිය ප්‍රවර්ධනය කළ ගීත, ආදරය හා විරහව නිරූපණය කළ ගීත මෙන්ම ළමා ගීත ද ඇයගේ නිර්මාණ අතර විය. ඒ අතර, 1990 වසරේදී එළිදැක්වූ කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය වූ ළමා ගීත සංග්‍රහයක් වන “සිංහල හෝඩිය” ද විශේෂයෙන් සඳහන් වේ.

ඇයගේ සුවිශේෂී කලා හැකියාවන් ඇගයීමට ලක් කරමින් සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබූවාය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඉටු කළ විශිෂ්ට සේවය වෙනුවෙන් 2017 වසරේදී ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුම් ලැබීමට ද ඇයට වරම් ලැබුණි.
“ගලන ගඟකි ජීවිතේ”, “මේ සිංහල අපගේ රටයි”, “රංග සැඩොල් කඳුළු”, “හඳ හාවුන්”, “දෙනෝදහක් නුවන් අතරේ”, “අම්මාවරුනේ”, “අහසින් පොළවට” සහ “ඉවුරු බිඳුණු ගංතලාවේ” යනාදී ගීත වෙනුවෙන්ද ඇය සම්මාන රැසකට හිමිකම් කීවාය.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව, ඇයගේ ගී නාදය විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් ද සනසාලීමට සමත් විය. සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග රටවල් සහ මාලදිවයින ඇතුළු රටවල පැවති ගී ප්‍රසංග රැසකට සහභාගී වෙමින් ඇය ශ්‍රී ලාංකීය සංගීතයේ නාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගියාය.
එතෙක් මෙතෙක් කාගේත් හදවත් තුළ සියුම් හැඟීම් ජනිත කළ ඒ අතිශය මියුරු ගී හඬේ හිමිකාරිය වූ විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය 2026 අගෝස්තු 20 වන දින නාවල පිහිටි ඇයගේ නිවසේදී අභාවප්‍රාප්ත වූයේ සිංහල ගීත කලාවට නොමැකෙන අඩුවක් සනිටුහන් කරමිනි.
ගීතයෙන් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් නිවාලූ ඒ අසහාය ගීත කෝකිලාවියගේ නාමය සිංහල සංගීත ඉතිහාසයේ සදා අමරණීයව පවතිනු ඇත.
