“ප්‍රේමය නඩු අහන්නෙ නෑ. ප්‍රේමය කිරුලු දරන්නෙත් නෑ.”

දේවි කුසුමාසන යනු ජයන්ත චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ජානකී විජේරත්න සමග සහයෝගයෙන් “ලයිකා Productions” විසින් නිෂ්පාදනය කරනු ලැබූ ඓතිහාසික සිනමා පටයකි. 2025 මැයි මස 22 වන දින නිකුත් කරන ලද මෙහි හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, මේඝ සූරියආරච්චි, දිනෙත් ද සිල්වා, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස් යන තරු රංගනයෙන් දායක වේ.
පෘතුගීසී යටත් විජිත යුගයේ දී තම බලය තහවුරු කරගැනීමට සටන් වදින ලද රණශූර කොනප්පු බණ්ඩාර හෙවත් දෙවන විමලධර්මසූරිය සහ සිංහල රාජවංශයේ කඳුලු බිංදුව ලෙස සැලකූ, නියම උරුමය හිමි රූමත් දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවියගේ කතාව මෙහි නිරූපණය වේ.
දේවි කුසුමාසන, කැලඹිලි සහිත කාලපරිච්ඡේදයක ශ්‍රී ලංකා ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. ලාංකීය ගැටුම්, අරගල, ආගමික හා සංස්කෘතික සංකීර්ණ භාවයේ කැපීපෙනෙන ගොදුරක් ලෙස අපට ඇයව හැදින්විය හැක. ඈ කරලියද්දේ බණ්ඩාර රජුගේ දියණියයි. මේ නිසාම නියම රාජ උරුමයක් ඇයට හිමිවී තිබුනි. නමුත් අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් පියා සමග පෘතුග්‍රීසීන් වෙත පලා යාමට ඇයට සිදු විය. සුදු සම සහ වෙනත් සංස්කෘතියක් සමග හැදී වැඩෙන්නට වුන ඇය තම පියාගේ අභාවයෙන් පසු පෘතූගීසීන්ගේ රූකඩ රැජිනක් ලෙස කිරුලු පැළඳුවා ය.
“මිනිහෙකුට රකින්න දුෂ්කරම රහස තමයි තමා පිළිබද තමාගෙ මතය”
මේ අවුල් සහගත වාතාවරණය තුල වීරසුන්දර බණ්ඩාරගේ පුත් රණශූර කොනප්පු බන්ඩාර තම කතෝලික නාමය අතහැර දමා ලාංකීයත්වය වෙනුවෙන් යුධ වදිමින් තම ජයග්‍රහණය අත්පත් කරගැනීමට කටයුතු කල අතර පසුව දෙවන විමලධර්මසූරිය නමින් කිරුලු පලඳින ලදී.
පසුව තම බලය තහවුරු කරගැනීමේ අරමුණින් සිදුවූ, නියම රාජකීය ලේ ඇති කුසුමාසන දේවියගේ සහ විමලධර්මසූරිය රජුගේ විවාහය හුදෙක් දේශපාලන අදහසකින් ආරම්භය ගත්තද ප්‍රේමය තුලින් එය හැඩ වූ අතර මෙය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සන්ධිස්ථානයකි.
“රැජිනකට ආදරේ කරන්න උබට බයක් හිතුනෙ නැද්ද..?”
“එයාගෙ නම කුසුමාසන දේවි..මං එයාට ආදරේට කිවුවෙ දේවි කියලා. සිංහල භාශාවෙන් දේවි කියලා දේවතාවිටත් කියනවා”
මෙම චිත්‍රපටය තුල ඉතිහාස කතාව පමණක් නොව සටන් ජවනිකා, ප්‍රේම ජවනිකා සහ සුන්දර ගීතද ශෝකජනක සිදුවීම්ද අඩංගු වේ.
