You are currently viewing උණුහුම

උණුහුම

අතිශයින් කාර්යබහුල සතියේ දිනයක උදා වූ සවස් යාමය අඳුරු පැහැති වළාකුළු සමූහයකින් බර වී වර්ෂාවක පෙරනිමිති සනිටුහන් කරන්නට විය. ප්‍රධාන මාර්ගයේ වේගවත් ව ධාවනය කෙරුණු මෝටර් රථ, වෑන් රථ මෙන්ම බස් රථවල නළා හඬ ඝෝෂාකාරී පරිසරයේ ඒකාකාරී හඬට මුසු වී තිබුණි. දවසේ සේවා මුරය අවසන් කර නිවෙස් බලා යන ඇතැමුන් ද රාත්‍රී සේවා මුරය සඳහා නිවසින් පිටත්ව යන ඇතැමුන් ද ප්‍රධාන මාර්ගයට දකුණු පසින් පිහිටි පදික වේදිකාවේ දූවිලි නංවමින් ඇවිද ගියහ. ඉදහිටක හමා ගිය සිහිලැල් සුළඟ පදිකයන්ගේ විඩාව නිවාලීය. පරිගණක තිරය මත දෑස් හසුරුවමින් ගෙවා දමන අවිවේකී හෝරාවන්ගෙන් සමුගෙන කාර්යාලයෙන් විඩාබර දෑසින් යුතුව නවාතැන් ගෙන සිටි නිවෙස බලා ඇවිද යන මම ද වැස්සට පෙර උදා වූ මොහොතේ පදිකයෙක් විය. පදික වේදිකාවේ එක් පසෙක කුළුබඩු අසුරා ගත් වයස්ගත වෙළෙන්දෙක් විය. ඔහු අහස දෙස බලා හිඳ ඇද හැලීමට නියමිත වර්ෂාවට පෙරාතුව සියලු බඩු තමන්ගේ බෑගයට අසුරන්නට විය.

නගරයට ඉහළින් ගුළි ගැසී තිබූ අඳුරු පැහැ ගැබ්බර වලාකුළු හිරි පොදක් ලෙසින් ඇද හැලෙන්නට විය. සිහිලැල් සුළඟ ඊට එක් ව මගේ කම්මුල්, ඇස්පියන් සහ තොල් මත කුඩා වැහි බිඳු තවරා තිබුණි.

පදික වේදිකාවේ මා පසු කරමින් වේගවත් ව ඇවිද ගිය තරුණියක් සුළඟ සමඟ හාද වුණු ඇගේ සාරිපොට තම ග්‍රහණයට නතු කර ගනිමින් දකුණතින් තම අත් බෑගය පිරික්සුවා ය. ගත වූ මිනිත්තු කිහිපය තුළ දී අළු පැහැ කුඩයක් ඉහළා ගත් ඇය පදික වේදිකාවෙන් බැස වංගුවෙන් හැරී මාගේ දර්ශන පථයෙන් ඉවතට ගියා ය.

“කුඩය ඕන නෑ.” මම තනි ව මිමිණුවෙමි.

පදික වේදිකාවේ දකුණු පසට වන්නට පිහිටා තිබූ කෑම කඩයට ඇතුළු වී මාළු බනිසයක් මිලදී ගත් මම සිල්ලර බඩු කඩය හා වයින් සාප්පුව පසු කරමින් ඉතා සෙමින් ඇවිද ගොස් සුපුරුදු විලාසයෙන් නැගීසිටි කොට්ට පුලුන් ගස සමීපයෙ නැවතුනෙමි. කොට්ට පුලුන් ගසෙහි මුදුන සිඹිමින් හමා ගිය තද සුළං පහර එහි යාන්තමින් එල්ලී තිබූ වියළි කොළ ගස් පාමුලට ඇද දමන්නට සමත් විය. සිලි සිලි හඬ නඟමින් පොළොව සිප ගත් වියළි කොළ තම දිවි සැරිය නිමා කළහ. ඉන් තත්පර තිහිපයකට පසුව කොට්ට පුලුන් ගසෙහි ඉහළම අත්තක ඵල දරා තිබූ කොට්ට පුලුන් ගෙඩියක් හමා ගිය සුළගට හසු වී සැණෙකින් පුපුරා ගිය අතර විසිර ගිය පුලුන් රොදවල් පාවෙන්නට විය. සිහිලැල් සුළඟට මුසුව ඇදී එන හිරි පොද එකින් එක වූ රෝම කූපයන් මත විඩා නිවූ අතරවාරයේ විසිරී ගිය පුලුන් උරහිස මත නිදැල්ලේ කඩා දමා තිබූ මගේ කොණ්ඩයේ දැවටී තිබුණි.

පදික වේදවේදිකාවෙන් දකුණු පසට වන්නට පිහිටා තිබූ කොට්ටා පුලුන් ගසත් නගරයේ ඉදි වූ සුවිසල් ගොඩනැගිල්ලත් අතර මැදින් දිවෙන අබලන්වූ තාර පාරේ වෙන දා මෙන් රැඳී සිටි බැළලිය එහි දක්නට නොවීය. එහෙත් කාඩ්බෝඩ් පෙට්ටියක් දෙස බලමින් සිටින මිනිසුන් කිහිප කිහිපදෙනෙක් එහි දක්නට විය. කඩෙන් මිලදී ගත් මාළු පාන් ද රැගත් මම එතැනට ඇවිද ගියෙමි.

ඉකුත්ව ගතවූ තත්පර කිහිපය තුළ වර්ෂාව තව තවත් දරුණු වන්නට වූ හෙයින් කාඩ්බෝඩ් පෙට්ටියේ සිටි බළල් පැටවුන් එකිනෙකා නිවෙස් කරා රැගෙන යාමට එහි සිටි මිනිසුන් එකඟ වූහ. වසරකට පෙරාතුව සිට මා සමග කුලුපඟ ව සිටි මෑතක සිට පැටවුන් බිහි කිරීමට බලා හිඳි එ් බැළලිය එදින උදෑසන මිය ගොස් තිබූ අතර ඇගේ පැටවුන් ද ඇගේ පැහැයෙන් ම යුක්ත විය. ලා දුඹුරු ලොම් අතර සුදු පැහැ බිඳිති ඉහුණු පැටවා දෑතින් තුරුලු කරගත් මා දරුණු වර්ෂාවට අවනත ව සුවිසල් ගොඩනැගිල්ල අසල රුඳී සිටියේ නවක සාමාජිකයා උණුසුම් කරමිනි.

Leave a Reply