You are currently viewing මහනුවර ඇසළ පෙරහැර: ලාංකේය සංස්කෘතියේ අද්විතීය සංකේතය

මහනුවර ඇසළ පෙරහැර: ලාංකේය සංස්කෘතියේ අද්විතීය සංකේතය

මහනුවර ඇසළ පෙරහැර ආගමික හා සංස්කෘතික ශ්‍රී විභූතිය ලොවට විදහා දක්වන, ශ්‍රී දන්තධාතූන් වහන්සේ උදෙසා වාර්ෂිකව පවත්වනු ලබන ඉතා සුවිශේෂී වූ පූජෝත්සවයකි. ශ්‍රී ලාංකේය උරුමයේ අද්විතීය සංකේතයක් ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහැර, විචිත්‍ර සංස්කෘතික අංග රැසකින් සමන්විතය.

වර්තමානයේ පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහැර එකිනෙකට සම්බන්ධිත පෙරහැරවල් දෙකක එකතුවකි. එනම් ඇසළ පෙරහැර සහ දළදා පෙරහැරයි. ක්‍රි.පූ. 3 වන සියවසේදී ආරම්භ වූයේ යැයි සැලකෙන ඇසළ පෙරහැර, නිසි කලට වැසි ලබාගැනීම සඳහා දෙවියන්ගේ ආශීර්වාදය පතා පවත්වනු ඇති අතර, දළදා පෙරහැර ක්‍රි.ව. 4 වන සියවසේදී දන්තධාතූන් වහන්සේගේ ශ්‍රී ලංකා ආගමනයත් සමඟ කිත්සිරි මෙවන් රජු විසින් පවත්වන ලදී.

පෙරහැරේ වර්තමාන ස්වරූපය මහනුවර රාජධානි සමය දක්වා දිවෙයි. ශ්‍රී දන්තධාතූන් වහන්සේට අදාළ චාරිත්‍ර ඉටු කරනු ලබන්නේ මල්වතු සහ අස්ගිරි මහා විහාරීය මහා සංඝරත්නය විසිනි.

පෙරහැර ආරම්භය ‘කප් සිටුවීම’ චාරිත්‍රයත් සමඟ සනිටුහන් වන අතර, එහිදී කොස් පැළයක් කපා සතර මහා දේවාල පරිශ්‍රයන්හි සිටුවනු ලබයි. මෙම චාරිත්‍රය රජුට සහ රටවැසියන්ට ආශීර්වාද ලබාගැනීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සිදු කරනු ලැබීම විශේෂත්වයකි.

මීළඟ රාත්‍රී පහ පුරා, සතර මහා දේවාලයන් තුළ දේවාල පෙරහැරවල් පැවැත්වේ. මෙම පෙරහැර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටට එක්රැස් වන අතර, සෑම දෙවියෙකුගේම සංකේත රන්සිවිගෙයක තැන්පත් කර, අදාළ බස්නායක නිලමේවරුන්ගේ අධීක්ෂණය යටතේ හස්තීන් මත තබා පෙරහැරේ වැඩම කරවනු ලබයි.

මෙය කුඹල් පෙරහැරේ ආරම්භයයි.දන්තධාතූන් වහන්සේ තැන්පත් කර ඇති කරඬුවේ අනුරුවක් මාලිගාවේ මංගල ඇත්රජුගේ පිට මත රන්සිවිගෙයක තැන්පත් කෙරේ. අනතුරුව මංගල හස්ති රාජයා ප්‍රධාන පෙරහැරේ පෙරටුව ගමන් කරයි. කසකරුවන් සහ ගිනිබෝල කරකවන්නන් ඉදිරියෙන්ම ගමන් කරන අතර, ඔවුන්ට පිටුපසින් බෞද්ධ කොඩි දරන්නන් ගමන් කරයි. නිල අංශයේ ඉදිරියෙන්ම පළමු ඇතා මත නැඟී ගමන් කරන්නේ පෙරමුණේ රාළයි.

ඔහුට පසුපසින් උඩරට නැට්ටුවන් සහ බෙරවාදකයන් ගමන් කරමින් නරඹන්නන්ගේ සිත් සතන් වශී කරවන සුළු රංගනයන් ඉදිරිපත් කරයි. මීළඟ කොටස්වලට අලි, නැට්ටුවන් සහ කොඩි දරන්නන් ඇතුළත් වේ. සුදු වතින් සැරසුණු ගායක කණ්ඩායමක් සදාතුක කරඬුව වැඩම කරවීම දැනුම් දෙයි. ඇත්රජුට පසුපසින් උඩරට රාජකීය ඇඳුමින් සැරසුණු, දන්තධාතූන් වහන්සේගේ ප්‍රධාන ගිහි භාරකාර දියවඩන නිලමේ ජගමන් කරයි. පාරම්පරිකව නිසි කලට වැසි ලබාගැනීම උදෙසා වගකීම දැරීම ඔහු සතු යැයි සැලකේ.

පෙරහැරේ ප්‍රධාන අවස්ථාවන් මහනුවර පුරා ඇසෙන කාලතුවක්කු හඬින් සංඥා කරනු ලැබේ. ඒ අතරට,

  • දේවාල පෙරහැරවල ආරම්භය,
  • කරඬුව ඇත්රජු පිට තැන්පත් කිරීම,
  • දළදා පෙරහැරේ ආරම්භය,
  • පෙරහැර අවසන් වීම ඇතුළත් වේ.

කුඹල් පෙරහැරේ රාත්‍රී පහ අවසන් වීමෙන් පසු රන්දෝලි පෙරහැර ආරම්භ වේ. ‘රන්දෝලි’ යන්නෙන් අදහස් කරන්නේ අතීත මහනුවර රජවරුන්ගේ බිසෝවරුන් වැඩම කරවූ රාජකීය දෝලියයි. රන්දෝලි පෙරහැර වැඩි වීදි ගණනක් පුරා සැරිසරන අතර, විචිත්‍රවත්ම හා ආකර්ෂණීයම පෙරහැර ලෙස ද සැලකේ.

රන්දෝලි පෙරහැරේ රාත්‍රී පහකට පසු, ගැටඹේ මහවැලි නදියේදී පැවැත්වෙන පාරම්පරික දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව දවල් පෙරහැර පැවැත්වීමෙන් මෙම මංගල්‍ය අවසන් වේ. ඇසළ පෙරහැර අවසානයේ, දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයා වෙත ‘පෙරහැර සංදේශය’ භාරදීමෙන් ඇසළ පෙරහැර සාර්ථකව නිම වූ බව නිල වශයෙන් දැනුම් දෙයි.

Leave a Reply