අවදි වී හිරුටත් පෙරම
සුසුම් දී හිස්ව ගිය ලිපට
වතුර උගුරක පිහිට ගෙන
රටා මවනෙමි ඉදලකින් මම…
.
ලොකු දූ ඒරොප්පෙ
පොඩි පුතු පවුල් වී උඩරට
බරක් වෙන්නැති උන්ට
පිහිට වෙන එක අම්මට…
.
අලුයම මැදියමක් නැත
ලැබුනොතින් බත්කටක් කුසගින්නට
හැත්තෑ දෙකක් වයසට
දෑත් වැඩ තවම හිතේ හයියට…
.
වතුර බිල්, ලයිට් බිල් අහස උසට
ඊට දෙවෙනි නෑ පොලියට ගත් ණය
දවසේ පඩියට වැඩකරන අපිට
කොයින්ද මොණරු සාක්කුවට…
.
දෙවිවරු වන් දොස්තර මහත්වරු
ලෙඩ දුක් නිවාලයි නිරතුරු
අපිටත් ඇත්තේය ලෙඩ නොමදුරු
කොයින්ද බෙහෙත් හේත් අපි කම්කරු…
.
පුර පෝයට සිල් ගන්නට
අපිත් ආසයි පන්සලේ බුදුන් වදින්නට
මල් පහන් සුවඳදුන් පූජා කරන්නට
කොයින්ද නිවාඩු පහළොස්වක ආවට…
.
අපුලකින් බලා අප හෙලා දක්නා මිනිසුනේ…
මම නොවෙයි ඔබලයි මංමාවත් හැඩි කලේ…
හැඩ කරන මගේ දෑතටයි පිළිකුල උරුම වූයේ…
අප නැතිව රට සුන්දර වේ යැයිද සිතන්නේ…
දුක්බර කතාවක් නොකියා කියූ ඒ අපූරුව ❤️
Super 👌