You are currently viewing සදා නොමියෙන ගී හඬ – ප්‍රියා සූරියසේන

සදා නොමියෙන ගී හඬ – ප්‍රියා සූරියසේන

මඩවල ලියනගේ දොන් සරත්චන්ද්‍ර ප්‍ර්‍රියදර්ශි සූරියසේන ලියනගේ නමින්, නාත්තණ්ඩියේ මධ්‍යම පාන්තික දෙමව්පියන් යුවලකට දාව උපත ලද ඔහු ව අප කවුරුත් හඳුනන්නේ ප්‍රියා සූරියසේන ලෙස යි. ජනතාවගේ සිත් සතන් ඇද බැඳ ගත් මියුරු ගීත ගොන්නක් දායාද කරමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂෙත්‍රයට අමිල මෙහෙවරක් සිදු කළ මෙතුමා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2024 දෙසැම්බර් මස 24 වෙනි දින අප අතරින් සමු ගත්තේ ය. අප අතරින් සමුගත්ත ද, එතුමන්ගේ ඒ සුමියුරු ගීත මිනිසුන්ගේ හදවත් තුළ සදා ජීවමාන ව පවතිනු ඇත.

සූරියසේනයන්ගේ සංගීත දිවිය ඇරැඹෙන්නේ “Heywood” නම් රජයේ සංගීත විද්‍යාලය මගින් පවත්වන ලද බාහිර සංගීත විභාගයට පෙනී සිටීමෙන් පසු ය.ඔහු එහිදි සංගීතය පිළිබඳව ඩිප්ලෝමාවක් ලබා ගත්තේ ය. මොහු ශිෂ්‍යයෙකු ලෙස විවිධ සංගීත වැඩසටහන් වලට සහභාගී වෙමින් ජයග්‍රහණ ලබා ගත් අතර ඒ අතරින් සමස්ත ලංකා යුනෙස්කෝ කුසලතා තරඟයේ දී ප්‍රථම ස්ථානය දිනා ගැනීම විශේෂයි. 1971 සිට කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් සිය ගුරු ජීවිතය ආරම්භ කළ මෙතුමා එම කාල වකවානුවේ දී ම වේදිකාවේ ද ගායයෙකු ලෙස සිය දස්කම් පෑවේ ය. ඉන්පසු කලුබෝවිල විද්‍යාලය සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙහි ද සේවය කළ් මෙතුමා, වසර 10ක ගුරු ජීවිතයට සමු දුන්නේ සංගීත ජීවිතයට ප්‍රමුඛතාව ලබා දෙමිනි.

SLBC හි ඔහුගේ ම මුල් ගීත කිහිපයක් පටිගත කළ මෙතුමා A ශ්‍රේණියේ ගායකයෙකු බවට ද සමත් වූයේ ය. මෙම කාලවකවානුව තුළ දී, මෙතුමන් සිය නම “ප්‍රියා” ලෙස කෙටි කර භාවිත කිරීමට ආරම්භ කළේ ය. ඔහුගේ ප්‍රථම කැසට් පටය නිකුත් වූයේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ දෙවන කැසට් පටය වන විජය රාමනායකගේ තරංග ලේබලය යටතේ ය. මෙතුමන්ගේ පළමු ගීතය “අඳුර අඳුර මාගේ” පටිගත කළේ 1968 දී ය. ලාල් තේනබාහු, සරත් දිසානායක, ස්ටැන්ලි පීරිස්, සරත් ද අල්විස්, ක්ලැරන්ස් විජේවර්ධන, රංජිත් පෙරේරා සහ තවත් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂකවරු විසින් මෙතුමන්ගේ ගීත නිර්මාණය කර ඇත. සූරියසේනයන් ද අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන අතර, ඔහුගේ ම ගීත කිහිපයක් ඔහු අධ්‍යක්ෂණය කර ඇත. ඒවා නම්, “ආදරණීය නේරංජනා”, “මට වාසනා”, “සඳ මා ගාවයි”,”මගේ සැමරුම් පොතේ” , “එකම වීදියේ” සහ “ගෙලවට බැන්දවූ” යන ගීත ය.

SLBC හි ඔහුගේ පළමු ගීත 4 නිකුත් කිරීමෙන් පසු, ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම පැමිණි සූරියසේනයන් 1970 කාල වකවානුවේ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ හදගැස්ම බවට පත් වූයේ ය. ඔහුගේ පළමු ගීත “සරතස නිවා”, “මට වාසනා”, “හෙට දවසේ”, සහ “අඳුර අඳුර මාගේ” යන ගීත 1972 දී, SLBCහි දී පටිගත කර ඇත. රජය රේඩියෝ නාලිකා හරහා ගීත විකාශය තහනම් කර තිබූ යුගයක නිකුත් කළ “සුදු පරෙවි රෑන සේ” ගීතය තුළින් 1970 කාල වකවානුවේ දක්ෂතම සහ ජනප්‍රියතම ගායකයෙකු බවට පත් වීමට මෙතුමන්ට හැකි වූයේ ය. ඔහුගේ ජනප්‍රියත්වය තවත් නැංවුණේ සේන අමරසිංහගේ “ඈතින් ඈතට” චිත්‍රපටය සඳහා මිල්ටන් මල්ලවආරච්චි සහ ග්‍රේෂන් ආනන්ද සමඟ සිදු කළ “කැන්දන් යන්නම්” ගීතය සරසවිය සම්මානයට පාත්‍ර වීමත් සමඟ ය.

සංගීතයට මෙවන් අමිල මෙහෙවරක් සිදු කළ ප්‍රියා සූරියසේනයන් අප අතරින් සමු ගන්නා විට 80 වැනි වියේ පසු වූයේ ය. පුරා දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලාංකේය සංගීතයට නොමැකෙන නාමයක් එකතු කරමින් කළ සේවය නිමා කර එතුමන් අප අතරින් සමු ගත්ත ද, ඒ මියුරු හඬ ලොකු කුඩා කා අතරත් සදා ජීවමාන ව පවතිනු නිසැක ය.

Leave a Reply