
සම්බුද්ධ ශාසනය තුල සිදුවූ වැදගත් සිදුවීම් වලින් සමන්විත ඉල් පොහොය වස්සාන සමයේ අවසන් දිනය වශයෙන් සැලකේ. මෙම ඉල් පොහොය වස් එළඹ සිටි භික්ෂුන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා කළ හැකි මාසයේ අවසන් දිනයයි. සසුනේ වැඩ අරඹා පින් පල නෙලා ගන්නා සරු මාසයක් වන මෙම මාසය තුල කඨින පිංකම් අවසන් වේ.
එපමණක් නොව මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ධර්මතා අට සම්පූර්ණ කර මතු බුදු වන බවට නියත විවරණ ලැබීමද මෙම සමයේ සිහිපත් කරන වැදගත් සිදුවීමකි.
එලෙසම අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ ඇතුලු පස් වග ශ්‍රාවකයන් වහන්සේලා විසින් නායකත්වය ගත් ප්‍රථම ධර්මදූත සැට නම ධර්ම ප්‍රචාරයේ යෙදීමද මෙම සමයේ සිදු වූ වැදගත් සිදුවීමකි.

උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ අරාම තුනෙහි වසන ලද ජටිල සහෝදරයන් ඇතුලු දහසක් අනුගාමිකයන්ට බුදු දහමේ හරය පහදා දීමෙන් පසු ඔවුන් සසුන්ගත වූයේද මෙවන් ඉල් පොහෝ දිනකය.
බුදුන්වහන්සේගේ අගසව් දෙනමගෙන් දකුනු අගසව් ලෙස හදුන්වන සැරියුත් මහතෙරුන්ගේ පරිනිර්වාණය සිදු වූයේද මෙවන් ඉල් පොහෝ දිනක වන අතර ඊට ප්‍රථම, “මම පෝෂණය කිරීමේ මිල ගෙව්වෙමි. මම වර්ධනය කිරීමේදී ඇති වූ ණයගැති භාවයෙන් මිදුනෙමි.” සිතමින් උන්වහන්සේ තම මෑනියන් වූ සාරි බැමිණියට නවඅරහාදී ගුණ වර්ණනා කරමින් දේශනා කර ඇයව සෝවාන් ඵලයෙහි පිහිටුවීමද සුවිශේෂි කරුණකි.
මෙම ශාසනික කරුණු සිහිපත් කරමින් උපාසක උපාසිකාවෝ මෙම මාසය තුල දානමාන හා පින් රැස් කර ගැනීමේ කටයුතු වල යෙදෙනු ලබති.
