ඇය දිගින් දිගටම කල්පනා කරන්නට යෙදුණත්, මේ පැටළුණු නූල් බෝලයේ අගක් මුලක් සොයා ගැනීම කෙසේ වෙතත්, මේ අද්භූත සිතුවිලි ගැන යළිත් සිතන්නට පවා ඉතා අපහසු විය. නැවතත් ඇය අපහසුවෙන් නින්දට වැටුණා ය. බංගලාවේ ජීවත් වන්නේ ලොකුහාමු මහතා හා ඔහුගේ එකම පුතා වන පොඩි හාමුත්, වත්ත බලාගන්නා පීටර් ජේම්ස්, මුළුතැන්ගෙයි වැඩ කරනා කමලා සහ ඇනි අම්මාත් පමණෙකි.
ලොකු හාමිනේ මීට සතියකට පමණ පෙර මෙලොවින් සමුගත්තේ පොඩි හාමුට යාන්තමින් වසර පහක් සපිරෙනවාත් සමඟ ය. ඒ හදිසියේම ඇතිවුණු හෘදයාබාධයකිනි. ලොකු හාමිනේගේ අවමංගල්‍ය උත්සවයට ඇයගේ පාර්ශවයෙන් කියා කිසිදු ඥාතියෙකුවත් පැමිණියේ නැත. එයට එකම හේතුව වූයේ වයස අවුරුදු පහක පමණ සිට ඇය හැදී වැඩී ඇත්තේ අනාථ නිවාසයක වීමයි. එම නිසා ලොකු හාමිනේගේ ළමා විය පිළිබඳව කිසිදු තොරතුරක් හෝ ඇගේ ඥාතීන් ගැන කිසියම් දෙයක් ලොකුහාමු මහතා හෝ දැන සිටියේ නැත. ලොකු හාමු මහතා ඇගේ බිරිඳට පණ මෙන් ආදරය කළ සැමියෙකු වූයේ ය. හාමිනේ ද ඉතාම අහිංසක කාරුණික තැනැත්තියක වූවා ය.
හදිස්සියේ සිදු වූ ලොකු හාමිනේගේ මරණයත් සමඟ ම බංගලාවේ සියලු දේ උඩු යටිකුරු විය. තම බිරිඳට දැඩි සේ ප්‍රේම කළ ලොකු හාමුට මේ සිදු වූ දේ කිසිසේත් ම දරා ගත නොහැක්කක් විය. පොඩි හාමුට නම් මේ කිසිවක් වටහා ගැනීමේ හැකියාවක් නොවුණි. වරින් වර කදුළු සලමින් සිටිනා ඇනි අම්මාගේ තුරුලට වී නිවසට පැමිණෙන අමුත්තන් දෙස බලා සිටිනවා හැර පොඩි හාමු කිසිත් වටහා නොගත්තේ ය. මීට දෙසතියකට පමණ පෙර කුරුලු කූඩුවක් මෙන් සතුටින් පැවති මේ නිවස දැන් පාලු සොහොන් බිමක් මෙන් වී ය.
ඇති වූ සියලු දේ නැති වීම ලෝක ධර්මතාවය බව වටහාගෙන සිටි ඇනි අම්මා නැවත බංගලාව පැරණි තත්ත්වයට ගැනීමේ අරගලයක තනිව නිරත ව සිටියා ය. කුඩා අවධියේ ම තම මව් සෙනෙහස අහිමි වූ පොඩි හාමු බලා ගැනීම ඇගේ එකම අරමුණ වූවාය. නමුදු කලක පටන් බංගලාවේ සිදු වූ අද්භූත දෑ ඇගේ මනස අවුල් කර තිබුණි. වසර පනහක් පමණ පැරණි මෙවන් අති විශාල බංගලාවක මෙවැනි දේ සිදු වීම අරුමයක් නොවේ යැයි සිතා මනසින් බැහැර කිරීමට උත්සාහ කළ ද වසර තිහක් පමණ මෙහි සේවය කළ ඇනි අම්මාට මෑත කාලයේ සිට සිදුවීමට පටන්ගත් මේ අත්භූත දේ අරුමයක් නොවේ යැයි සිතා බැහැර කිරීමට නොහැකි වූවා ය. හිටි හැටියේ ඇසෙනා අඩි සද්ද, ඉබේ ඇරෙනා බංගලාවේ දොර ජනෙල් ඇනි අම්මාගේ හිත තව තවත් බියට පත් කළේ ය.
කාලය ගෙවී ගියේ හීයක තරම් වේගයෙන් ය. ලොකු හාමිනේගේ මරණයට තුන් මස සපිරුණේ මීට දින දෙකකට පමණ පෙර ය. ඒ ගත වූ තුන් මසට සියලු දේ වෙනස් විය. ඇගේ මරණයත් සමග ලොකු හාමු මහතා අධික ලෙස මත්පැන් පානයට හුරු වූයේ ය. තේ වතු හා ව්‍යාපාර කටයුතු සියල්ල බලා කියා ගත්තේ කමලාගේ සැමියා වූ සිරිපාල විසින් ය. මීට පෙර කොළඹ පිහිටි නිමි ඇදුම් මැසිමේ කර්මාන්තශාලාවක සුපරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු බංගලාවට පැමිණියේ ලොකු හාමිනේගේ මරණයත් සමඟ ය. මරණයේ සියලු කටයුතු පවුලේ අයකු මෙන් සොයා බලා සිදුකිරීම නිසා කෙටි කලකින් ලොකුහාමු මහතාගේ විශ්වාසය දිනා ගැනීමට සිරිපාලට හැකි විය. ඉක්බිතිව සිරිපාල කමලා සමග බංගලාවේ ම නතර වූයේය.
ඇනි අම්මා නම් මේ සිදු වූ කිසිවකට කැමැත්ත පළ නොකළා ය. බංගලාවේ සේවකයන් ලෙස කටයුතු කරන්නන් මෙලෙස පරම්පරා ගණනාවක් සිට රැක ගෙන පැමිණි ව්‍යාපාර වලට අත ගසනවාට ඇය කිසිසේත් කැමති නොවූවා ය.
ඇනි අම්මාගේ මෙම අකමැත්ත සාධාරණද? ඇයගේ සැකය යම් හෝඩුවාවක පෙරනිමිත්තක් ද? තෙවන දිගහැරුමෙන් හමුවනතුරු අවධානයෙන් සිටින්න…
