You are currently viewing “අඳුරු සෙවණැලි” – පළමු දිගහැරුම…

“අඳුරු සෙවණැලි” – පළමු දිගහැරුම…

ගණ මීදුම් දුමාරයෙන් හාත්පස ම වැසී ගොසිනි. කාළ වර්ණ සළුවක් ඇතිරූ කලෙක මෙන්ම මුළු පරිසරය ම අන්ධකාරයෙන් ගිලී ගොසිණි. අහසේ පාවෙන අර්ධ පූර්ණ චන්ද්‍රයාගේ මළානික එළිය තැවරී ගිය ගස් කොළන්, අද්භූත සෙවණැලි විදහා දැක්වී ය. සීතල සුළඟ දසතින් හමා ගියේ ගත ද සිත ද හිරි වට්ටවමිනි. බකමූණෙකුගේ ‘හුම්’ නාදයෙන් යම් තරමකට නිහඬතාවය බිඳී ගිය ද එදා වෙනදාටත් වඩා නිහඬතාවයකින් මුළු පරිසරයම වෙලී ගොස් තිබුණි. ඈතින් ඇසුණු බස්සාගේ නාදය සිතට ගෙන ආවේ මහා මූසල හැඟීමකි. ඒ හඬ කණට දැනෙන්නේ මරණයේ පණිවිඩය ගෙන එන වාදනයක් සේ ය. මළානික සඳ එළිය තැවරුණු බංගලාව දිස් වූයේ අඳුරු සෙවණැලි වලින් වට වූ සොහොන් කොතක් ලෙසිනි. එදා රෑ සිහින් පොද වැස්සක් ද පතිත වෙමින් පැවතුණි.

ඇනි අම්මා සුපුරුදු පරිදි මුළුතැන්ගේ වැඩ කටයුතු නිමා වී කෙළින් ම පැමිණියේ විසිත්ත කාමරයේ ඇති ගිණි උඳුන වෙත ය. ගිනි උඳුන නිමෙන්නට ඔන්න මෙන්න කියා තිබිණි. ඇය ගිනි පෙට්ටිය සමඟ වියළි දර ද රැගෙන ආවා ය. ඈ විගසින් දර ගෙනත් ගිණි උඳුනට දැමුවේ එය නිවී ගියහොත් ජීවිතයේ අවසාන මොහොත උදා වනවාක් සේ ය. සතියක පමණ කාලයක සිට ඈගේ හදවත, සසල වූ ගමන් ම ය. හරි හමන් නින්දක් නැති නිසා ඇස් දෙකට යටින් කළු පැහැති අඩ කව දෙකක සලකුණු සුදු මැලි මුහුණේ කැපී පෙනෙන්නට තිබිණි. උඳුනට පිඹින ගමන් ඇය සිටියේ වටපිටාව ගැන දැඩි විමසිල්ලකිනි. වසර තිහක් බංගලාවේ මෙහෙකාර සේවයේ යෙදී සිටියත් මෙවන් සතියක් පිළිබඳ මතකයක් සොයා ගැනීම ඈට ඉතා දුෂ්කර විය.

ගිනි පුළිඟු බුර බුරා නැගෙද් දී අසල තිබූ පුටුවකට බර වී, ඈ යාන්තමින් දෙනෙත් පියා ගත්තා පමණි. සීතල සුළඟක් ඇගේ ගත ද සිත ද වෙලා ගත්තේ ගිනි උඳුන ද නිමා දමමිනි. ඇය විගසින් සිට ගත්තා ය. ඇය සිටගත් වනම ගල් වැසුනේ ඉදිරියෙන් පෙනෙන දේ අදහාගත නොහැකි බැවිනි. ඇය දුටුවේ ඉදිරියෙන් ඇති ජනෙල් කවුළුවේ තිර රෙද්ද සුළඟේ වේගයෙන් වේගවත් ව සැලෙන බවයි. සෑම දිනකම බංගලාවේ සෑම ජනේලයක් හොදින් වසා ඇත්දැයි සොයා බැලීම ඇගේ වගකීමකට වඩා පුරුද්දක් වූයේ ය. එම නිසා එදින ද ඒ කර්තව්‍ය අකුරට ම සිදු කළ බවට ඈට හොඳ හැටි විශ්වාසයක් තිබිණි. බංගලාවේ සාලය දැඩි අඳුරක ගිලී ගොසිනි. සඳේ මළානික එළිය මඳක් කවුළුව දිගේ සාලයට පතිත වුණි. ඇනි අම්මා වේගයෙන් හුස්ම ගන්නා හඬ හැර වෙනත් කිසිම හඬක් ඇසුණේ නැත. ඇගේ හදවත පිටට පනින්නට තරම් වේගයෙන් ස්පන්දනය විය. ඇය අව සිහියෙන් මෙන් මේසය මතුපිට දෑත් ගෙන ගියේ ගිනි පෙට්ටිය සොයා ගන්නා අරමුණෙනි. ගිනිපෙට්ටිය ඇගේ දෑතට හසුවුණි. ඇය විගස ගිනිකූරක් දල්වා විසිත්ත කාමරය පසෙක තිබූ තේක්ක කැබිනෙට්ටුව මත වූ පිත්තල පහන දල්වා ගත්තා ය. ඇය හැකි පමණ වේගයෙන් විසිත්ත කාමරයෙන් දිව ගොස් මුළුතැන්ගෙයට යාබද ව පිහිටි ඇගේ කුටියට වැදී දොර තදින් වසා ගත්තා ය. ඇය ඇඳ මත වාඩි වී තදින් හුස්ම ගනිමින් සිටියා ය. ඇගේ ගත සිත, බියෙන් ද විඩාවෙන් ද පිරී යන්නට විය. සිදුවන්නේ කුමක් දැයි වටහා ගැනීමට ඈට නොහැකි විය. ඇය යහන මත වැතිරි පොරෝනාවට ගුලි වූවා ය.
මුළු බංගලාවම දැඩි නිහඬතාවයකින් ගිලී පැවතුණි. ඇනි අම්මාට ද නොදැනී නින්ද ඇය වෙත පැමිණියා ය.

හෝරා කිහිපයක් ගත විය. එක පාරටම ඇනි අම්මා තිගැස්සී අවදි වූවා ය. ඇය ඇස් කුඩා කර වටපිට බැලුවේ තමා සිටින්නේ කොහේදැයි සැක හැර දැනගැනීමට මෙනි. සඳ එළිය තැවරුණු ජනේලයෙන්, කවුරුන් හෝ ඒ අසල සිටගෙන සිටින ඡායාව දිස්විය. එහෙත් ඇසිපිය සලන පමාවට එම ඡායාව අතුරුදහන් විය.

ඇනි අම්මාට අනතුරක්ද? ඉදිරියට කුමක් වේවිද? දෙවන දිගහැරුමෙන් හමුවනතුරු විමසිල්ලෙන් සිටින්න…

Leave a Reply