ඔහු ද පියෙකි බුදු පදවි නොපැතූ.

මා මේ ආවර්ජනය කරන්නට සැරසෙන්නේ මතක පොතේ කිසිදා නොමැකෙන අපූර්ව
මතකයකි.අද එය මා ආනන්දයට පත් කරනුයේ යම්සේ ද, ඔබත් එලෙසම මා සමග සහෘද වනු
ඇතැයි මම විශ්වාස කරමි. ඒ දෙදහස් දහඅට වසරේ සැප්තැම්බර් මස විඩාබර දිනකි. එවකට අපි
දෙවන වසර සරසවි සිසුවියෝ වීමු. දහවල පැවති දේශන හමාර වූ විගස අපි 154 කට කඩිමුඩියේ ම
ගොඩ වූයේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවටත්, ඉන් අනතුරුව අප
කිසිවකු නොදත් කිරුල පාරේ තිබෙන්නේ යැයි කියන ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයටත් යාමට ය. ඒ
අන් කිසිදු කාරණාවක් නිසා නොව උපාධියට සමගාමීව අමතර පාඨමාලාවක් හැදෑරීමට අවැසි
තොරතුරු ලබා ගැනීමට ය. එය එක්තරා අයුරක දැනුම කෙරෙහි ඇත්තා වූ පිපාසයක් යැයි මට හැගේ.
එබැවින් අපි ගිනි ගහන දැඩි හිරු රශ්මිය නොතකා ම දෙපා පිළිිිස්සෙන තාර ඇතිරූ මග ඔස්සේ අභිමත
ස්ථානයට පිවිසියෙමු. අවැසි තොරතුරු හා පත්‍රිකා ඉන් සපයා ගත් අපි මීළඟ සන්ධිස්ථානය වන
ජනමාධ්‍ය විද්‍යාලයට යෑමට පිටතට පැමිණියෙමු. ඒ වන විට කාලය අපව පසුකර දිගු දුරක් ගොස්
හමාර ය. පස්වරු පහට එහි කාර්යාලයීය කටයුතු අවසන් කරන හෙයින් ඊට පෙර අපි එහි සිටිය යුතුම
ය. අවශේෂව ඇත්තේ මිනිත්තු 20 කි. වහා විජේරාම හන්දිය වෙත පිය නැගූ අපි, ත්‍රීරෝද රථයකින්
එහි යෑමට කතිකා කර ගත්තෙමු. මන්දයත් බස්රථයෙන් යෑමට බොහෝ කාලයක් ගතවන බැවිනි.
එහෙත් අත තුබූ මුදල ත්‍රීරෝද රථ ගාස්තුව සඳහා ප්‍රමාණවත් වේ දෝ යි අප සිතෙහි කුහුලක් විය.
කරුණු එසේ වෙතත්, කෙලෙසක හෝ එහි යා යුතුම ය. අප විසින් නවත්වන්නට තැත්කළ බොහෝ
රථ වල මගීන් ය. එහෙත් අවසන අපේ පිනකට දෝ එක් ත්‍රීරෝද රථයක් අප අසල නැවැත්විණි.

“මිස් කොහාටද?” රථය නැවැත්වූ විගසම ඔහු විමසුමේ ය.

“ජන මාධ්‍ය විද්‍යාාලයට. කිරුළ පාරේ. අපි 5ට කලින් එතන ඉන්න ඕන.” අපි ද පිළිතුරු සැපයුවෙමු.

“ඔය ප්ලේස් එක නම් හරියටම දන්නේ නැහැ මිස්. නගින්නකො, කිරැළ රෝඩ් එකේ නෙ”.

“කීයක් විතර ගන්නවද එතන්ට?”

මෙවර අප ඔහු ඉදිරිිියේ තැබුයේ අපේ ප්‍රශ්නාවලියේ අතිශයින්ම වැදගත් පැනයයි.

“මිස් නගින්නකො. ඒක බලමුකෝ.”

ඒ වූ කලී තවත් කල් මැරීමට සුදුසු අවස්ථාවක් නූන හෙයින් අපි ද රථයට ගොඩවීමු. ඔහුට අදාල
ස්ථානය කෙරෙහි මනා අවබෝධයක් නොතිබුණ හෙයින් ගූගල් සිතියමෙන් අපි අභිමත ස්ථානය
පෙන්වීමු. එය ඔහුට ප්‍රමාණවත් විය. හඹා යන කාලයටත්, අධික රථවාහන තදබදයත් අතරට මැදි වූ අපි
ජනමාධ්‍ය විද්‍යාලයයට නිසි වේලාවට ගමන් කිරීම පිලිබඳව දෙගිඩියාවකින් පසුවීමු.

“මිස්ලා කැම්පස් ද?” වාහන වල අමිහිරි හඬ හැරුණු කල ඔහුත් අපත් අතර වූ නිහැඬියාව බිඳ හෙළමින්
ඔහු ඇසුවේ ය.
“ඔව්” අපි තනි ව

චනයකින් ඔහුට පිළිතුරු දුන්නෙමු.

“වෙලාවට යන්න පුළුවන් මිස්. බය වෙන්න එපා.”

ඔහු අප විශ්ව විද්‍යාල සිසුන් බව වටහා ගත්තේය.
එය සාර්ථක නිරීක්ෂණයකි. එමතු නොව, ඒ මොහොතේ අපගේ නොඉවසිලිමත් චිත්ත
ස්වරූපය අවබෝධකර ගත්තේ ය. ඔහු හොද නීරීක්ෂකයෙකි. සැලකිය යුතු දුරක් ගමන් කළ තැන ඔහු
ගෙවිය යුතු මුදල සඳහන් වන මීටරය ක්‍රියා විරහිත කළේය. මොහු සැරසෙන්නේ කුමකටද? අපි
විමතියට පත්වීමු.
කෙසේ හෝ අවසන් මිනිත්තු 5කට ප්‍රථම අපි අභිමත ස්ථානයට පිවිසියෙමු. ත්‍රී රෝද රථයෙන් බැසගත්
අපි වැදගත්ම පැනය ඔහුගෙන් විමසුවෙමු.

“බොහොම ස්තූතියි. කොහොම හරි වෙලාවට ආවා. ගාණ කීයද?”

“සීයක් දෙන්න මිස්. මිස්ලා තාම ඉගෙන ගන්න ළමයිනේ.” අවයාජ සිනහවකින් සංග්‍රහ කරන අතර
ඔහු පැවසුවේ ය.

මේ කිනම් පුදුමයක් ද? මුහුණට මුහුණ බලාගත් අපි මදකට නතර
වීමු. අපේ කන්වල කිසියම් දොසක් ද? ඔහුට වැරදී ඇත්ද? එසේ නැතහොත් අපට වැරදී ඇත්ද ?

“සීයක් ඇති මිස්. මිස්ලා කැම්පස් ළමයිනේ.” ඔහු නැවතත් තම අවයාජ හඬ අවදි කළේ ප්‍රතිචාර දැක්වීමට අප දැක්වූ ප්‍රමාදය නිසාවෙනි.

“මේකත් ගන්න. බොහොම ස්තූතියි.” තවත් සියයේ නෝට්ටුවක් අපි ඔහු අත තැබුවෙමු.

අප බොහෝ
සෙයින් ඇවිටිලි කළ ද ඔහු එය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළේ ය.

“මිස්ලා කැලණියට යනව නම් කොහුවල බස් එකක නගින්න. පෑලියගොඩින් බැහැල බස් එකක
නගින්න.” අප නැවත විශ්වවිද්‍යාලයට යා යුතු පිළිවෙල ද ඔහු විස්තර කළේ ය.

එ මතු නොව, අප
ගොඩනැගිල්ල තුළට යන තෙක්ම තම ත්‍රීරෝද රථය නවත්වාගෙන සිටි ඔහු රිය පණ ගැන්වූමේ අප
සැවොම ගොඩනැගිල්ලට ඇතුලු වූ පසුවයි.

මින් අනතුරුව සිදු වූ සිදුවීම් විස්තර කිරීමෙන් පලක් නොවේ. පැවසීමට අවැසි සියල්ලම මම ඔබ
හමුමේ සැකෙවින් ලියා ඇත්තෙමි. එහෙත්, හදවතේ ඉසියුම් නහර ඔස්සේ ගලන්නා වූ රක්ත ලේ
බිඳුවක් පාසා දිවෙන මිනිසියාවේ අරුමැසිය ඇඟිලි තුඩු අතර සිරවුණු පන්හිදට ජීවයක් දෙමින් වදනට
පරිවර්තනය කරන්නට මම වෙර දරමි. එය මා සතු වගකීමක් මෙන් ම යුතුකමක් යැයි මම විශ්වාස
කරමි. මනසින් උසස් මිනිසුන් තවදුරටත් අප අතර වෙසෙන්නේ නැතැයි කියන්නා වූ මේ ධරණී තලය
මත ම එකී උදාර මිනිසියාව සහිත පුද්ගලයෙකු මම දෙනෙතින් ම දුටිමි. අදටත් ඔහු කෙරේ මා
හදවතේ උපන් ගෞරවය මම මෙසේ වදනට පෙරළන්නේ එහෙයිනි. මහත්මයාණනි, මෙලෙස මා
ජීවය ලබා දෙන වදන් වැල් ඔබ නෙත නොගැටෙනු ඇත. ඔබ මේවා කෙදිනක හෝ නොකියවනු ඇත.
මේ මොහොතේත්, ගිනි ගහන අව්වේ ඔබ මිනිසුන්ව රැගෙන ඔබ රථයට පණ දෙමින් ඔවුන්ව තම
අභිමත ස්ථානය කරා ගෙන යනු ඇත. ඊට කම් නෑ. ඔබේ ඔය අවයාජ සිනහව, අවයාජ මනුස්සකම
අදත්, හෙටත් නිරතුරුව මහ මගදී ඔබව සුරකිනු ඇත. ඔබත් පියෙක් වන්නට ඇත. ඒ පිය සෙනෙහස,
දාරක ප්‍රේමය ඔබ අප කෙරෙහි ද දක්වන්නට ඇතැයි මා හට හැගේ. ඔහුද පියෙකි බුදු පදවි නොපැතූ.

Senior editor: Rtr. K. L. Suzan Sewwandi

Website | + posts

Leave a Reply