‘ජීවත් වෙනවා කියන්නෙ ඇහැරන් ඉන්න එක’

Image courtesy: pinterest

ජීවිතේට culture එකක්!
මේ දවස්වල කියවන පොත මොකක්ද? මොනා ද අහන සින්දු? අන්තිමට බලපු ෆිල්ම් එක මොකක් ද? කියලා කවුරු හරි ඇහුවොත් පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාට ද? ෆිල්ම් එකක් බැලුවත් සින්දුවක් ඇහුවත් පොතක් කියවන අය හරි ම අඩුයි. මනුස්සයෙක්ගෙ ජීවිතය නිකම් ම ගෙවල දානවට වඩා සංස්කෘතික වුණා ම ඒ ජිවිතේ වටිනාකම චුට්ටක් වැඩියි.

මොකක් ද මේ සංස්කෘතිය? සංස්කෘතිය කියන්නෙ ජීවත්වෙන විදිහ. ආහාර පුරුදු, රසවින්දන ක්‍රම, ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි ශෘංගාර ජීවිතය පවා මේ සංස්කෘතියට අයිතියි. රටකින් රටකට, කාලෙන් කාලෙට මේවා උඩුකුරු යටිකුරු වෙන්න පුළුවන්. කාලයක් මිනි ගවුම් ඇන්ද රටක තව කාලෙක ශෝර්ට් ස්කර්ට් එකක් ඇන්දත් සංස්කෘතිය විනාශ වෙනවා කියලා කියන මට්ටමට මේ විපර්‍යාසය වෙන්න පුළුවන්.


ඉස්සර මිනිස්සු ඉර පායන කොට නැගිටලා ඉර බහිනකොට නිදා ගන්නවා. රාත්‍රී ජීවිතයක්, නයිට් ලයිෆ් එකක් ගැන දන්නෙ නෑ. හවස හයෙන් පස්සෙ ළිඳෙන් නාන්න දෙන්නෙ නෑ. කළුකුමාරයා වැහෙයි කියනවා. තනිකම් දෝසේ කියනවා. ඒත් තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයා ගත්ත නිසා දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් රාත්‍රියට තමා ලෝකෙ ගොඩක් වැඩ වෙන්නෙ. මඟ දිගට ස්ට්‍රීට් ෆුඩ්ස්, ලස්සනට දිලිසෙන ශොපින්ග් මෝල්ස්, මියුසිකල් ශෝස් විතරක් නෙමෙයි රෑ එකොළහටත් ෆිල්ම් හෝල්වල ෆිල්ම්ස් පෙන්නවා. මේ නයිට් ලයිෆ් කල්චර් එක නැත්නම් රාත්‍රී ජීවන සංස්කෘතිය දැන් දැන් ලංකාව ඇතුළෙත් ජනප්‍රිය වෙමින් පවතින්නෙ. එතකොට අපි මේ ජීවන අත්දකීම අත්වින්ඳෙ නැති වුණොත් පාඩුවක් කියලා හිතෙන්නෙ නැද්ද?


ජීවත් වෙනවා කියන්නෙ ඇහැරන් ඉන්න එකට. මනුස්සයෙක්ගෙ ජීවිත කාලෙන් අඩකට වඩා කරන්නෙ නිදාගන එක. මනුස්සයෙක්ට පුළුවන් නම් තමන් ජීවත් වෙන කාලෙදි නිදාගන්න එක අඩු කරලා ඒවෙලාවෙත් ලයිෆ් එක එක්පීරියන්ස් කරන්න අන්න ඒ මනුස්සයා ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද අපි හුරු වෙලා ඉන්න ඒකාකාරි රාමුවට පිටින් අපි යන්න අකමැතියි. ඉස්කෝලෙ කාලේ ටයිම් ටේබල් ගහලා කොටු ගහලා ඉගෙන ගත්ත අපි රැකියාව කරනකොට ටයිම් ශෙඩූල්ගහලා කොටු වෙනවා. කාල සටහනකට වැඩකරන එක හොඳයි. නමුත් කාලසටහනකට අනුව පාලනය වෙන්න ගියා ම ජීවිතය අපිට මඟ ඇරෙනවා.


පොතක් කියවන්න, සින්දුවක් අහන්න, චිත්‍රපටියක් බලන්න, බලලා ඒවා ගැන අදහසක් මිතුරු සමාගම සමග ශෙයාර් කරගන්න අපිට කාලය ඕනෙ. එහෙම සංස්කෘතියක්, කල්චර් එකක් නඩත්තු කරන්න ලේසි නෑ. අපි පුරුදු වෙලා ඉන්නෙ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් කරලා හිත සතුටු කරගන්න. දැන් වෙද්දි අපි සින්දු අහන්නෙ නෑ. ඇහෙනවා. ඒ තරමට අපේ සංස්කෘතික ජීවිතය සරල රේඛාවක් වෙලා ඉවරයි. අපි පිරමීඩාකාර ව මොකක් හරි දෙයක පදාසය තේරුම් ගන්න උත්සාහ කරන්නෙ නෑ. යූටියුබ් එකේ කාගෙ හරි ගොසිප් එකක් නැත්නම් කවුරු හරි කියපු කතාවක් ෆේස්බුක් එකට ශෙයාර් කරලා ඒවට වැටෙන ලයික්ස් කමෙන්ට්ස් බල බල ඉන්නවා. මේක ද අපේ සංස්කෘතික ජීවිතය? මේකට ද අපි පැය ගණන් පාරවල්වල රස්තියාදු වෙලා ඔෆිස් ගිහින් සල්ලි හම්බ කරන්නෙ? පාඩම් කරලා විභාග සමත් වෙන්නෙ?


අපි හැමෝගෙ ම ඇඟ ඇතුළෙ මොන ම ආකාරයේ හෝ ක්‍රියේටිව් ෆීලින්ග්ස් තියෙනවා. එහෙම නෑ කියන්න බෑ. මොකද පොඩි කාලෙ අපි ඔක්කොම සින්දු කිව්වා, නැටුවා, රඟපෑවා. ඒත් ලොකු වෙද්දි ඒවා අපි අතෑරියා. හය වසරෙදි සෞන්දර්‍යය විශයන් තෝර ගනිද්දි සංගීත, නැටුම්, චිත්‍ර, ඩ්‍රාමා කියලා බෙදුණට පස්සෙ සංගීත කරන අය නටන්නෙ නෑ. නටන අය චිත්‍ර අඳින්නෙ නෑ. චිත්‍ර අඳින අය රඟපාන්නෙ නෑ. අපි ටික ටික අපේ සංස්කෘතික ජීවිතය අතාරිනවා. කවියක් කෙටි කතාවක් ලියන්න කම්මැලි වෙනවා. මෙහෙම ගිහින් ගිහින් අන්තිමට අපි ට්‍රිප් එකක් යද්දි පවා හෙඩ්සෙට් එකක් අරන් යන්න පුරුදු වෙනවා. ඔෆිස් එකෙ අසල්වැසි ඩෙස්ක් එකේ මනුස්සයාගෙ බඩගින්න නො දැනෙනවා. ඔව් අන්තිමට අපිට පවුලෙ අයවත් මඟ හැරෙන්න පුළුවන්.


මනුස්සයෙක්ට ප්‍රේමයක් තියෙන්න ඕනෙ. ඒක සදාතනික එකක් ම වෙන්න ඕනෙ නෑ. විවාහයෙන් කෙළවර වෙන්න ඕනෙත් නෑ. තවත් මනුස්සයෙක් එක්ක බැරි නම් සතෙක් එක්ක හරි. කොහොම හරි ප්‍රේමයක්. එතකොට තමා අනිත් කෙනාව තේරුම් ගන්න පෙළඹෙන්නෙ. අනිත් කෙනාව තේරුම් ගන්න නිකන් බැහැ. ඒකට සංස්කෘතික වෙන්න ඕනෙ. එතකොට තමා ජීවත් වෙනවා කියලා දැනෙන්නෙ.
ඉපදුණ නිසා ඔහේ ජීවත් වෙලා මැරිලා යනවා වෙනුවට ජීවිතේ කතා කරන්න පුළුවන් හැම වචනෙ ම කතා කරලා; ලියලා, දකින්න පුළුවන් හැම දේ ම දැකලා, ඇසුරු කරන්න පුළුවන් හැම මනුස්සයා ම ඇසුරු කරලා; ප්‍රේම කරලා, කරන්න පුළුවන් හැම යහපත් දෙයක් ම කරලා මැරෙන්න හැමෝට ම බෑ. ඒකට ජීවිත කාලෙ ම පුහුණු වෙන්න ඕනෙ. ඒ පුහුණු වීමට කියන සමාන වචනය තමයි ‘සංස්කෘතික ජීවිතය’.

Rtr. Sasantha Indrajith