හුදෙකලාවේ සෞන්දර්‍යය


Image courtesy: Flickr.com

හැම මනුස්සයෙක් ම ආසයි සතුටින් ඉන්න. දුකින් ඉන්න අකමැති අය නම් නැති ම තරම්. මොකක්ද මෙ සතුට? දුක? සරලව හිතුවොත් සතුට කියන්නෙ කැමැත්ත. දුක කියන්නෙ අකමැත්ත. මේක ආගමික අර්ථයෙන් ගත්තොත් පිං පව් කියලත් හිතන්න පුළුවන්.

ජීවිතේ අපි ක්ෂ්‍ය කරගෙන යද්දි අපිට මේ සතුට, දුක එහෙම නැත්නම් පින පව මේ හැම දේම අඩුවක් නැතිව හම්බෙනවා. ජීවිතේ ජයග්‍රහණයක් ලැබුවම සතුටක්; පිනක්. පරාජයක් ලැබුවොත් දුකක්;පවක්. සමහර අය මේ පව කියන කාරණාව තමන්ගෙ කරුමය කියලත් හිතන් ඉන්නවා. ඇත්තට ම ඒක එහෙමද? අපිට බැරි ද මේ කරුමයට අභියෝග කරන්න? කරුමය දෙන හැම දේම භාර ගැනීම ද අපේ ජීවිතය කියන්නෙ?


මහා සෙනගක් මැද හුදෙකලා වෙන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. බාගදා මේ කියවන ඔබත් ඒ අත්දැකීම ලබලා දැති. සමාජ සම්මතයක් තියෙනවා යහළුවන් නැති වීම පව්කාර කමක්. තනියම ඉන්න වෙනවා කියන එක තරම් දුකක් වෙන කොහේවත් නෑ වගේ කතා. පිරිස් බලයක් එක්ක සෙනඟ පිරිවරාගෙන ඉඳීම සතුටක් කියලා තමා උගන්නන්නෙ. නමුත් මේ තනිවීම කියන්නෙ මහා කටුක දෙයක් වගේ පෙනුනණත් හොඳින් තේරුම් ගත්තොත් පේන දෙයක් තමයි හුදෙකලාව ඇතුළෙ තමයි සෞන්දර්යය තියෙන්නෙ කියලා.


අපි වැඩිපුර ම ජීවිතේ සතුට හොයන්න පුරුදු වෙන්නෙ අනිත් මිනිසුන්ගෙන්. අපිට ඒ මිනිස්සු නැතිව සතුටු වෙන්න බෑ කියන අදහස තමා ඔළුවල නඩත්තු කරන්නෙ. මනුස්සයා කියන්නෙ උපතින් ම සාමූහික ජීවියෙක් කියලා උගන්නනවා. නමුත් මනුස්සයා සාමූහික ව ජීවත් වුණාට ආත්මාර්ථකාමියි. අනෙකාගේ සතුටට හොරෙන් හෝ ඉරිසියා කරනවා! ඇත්තට ම මිනිස්සු අනිත් කෙනාගෙ සතුට දකින්න අකමැතියි. මේක වෛරී ප්‍රකාශනයක් වගේ පේනවා වුණත් අපේ ජීවිතවල කුටීරගත ඇත්ත ඒකයි.

තමන් හා සම මට්ටමේ අය තමන්ට අභියෝගයක් වේගෙන එද්දි මිනිසා හැසිරෙන්නෙ යක්ශයෙක් වගේ. එහෙම නැද්ද? පොඩ්ඩක් නිවී සැනසිල්ලෙ හිතලා බලන්න. තමන් එක්ක හිටපු හොඳ ම යාළුවෙක් තරහා වෙලා ගිහින් තියෙනවා නම් ඒ මොකටද කියලා? ගොඩක් වෙලාවට ඒවට හේතු වෙන්නෙ තමන් එක්ක හිටපු අනිත් යාළුවා තමන්ට අභියෝගයක් වීම මත. නමුත් සමහරක් වෙලාවට මේ තත්ත්වය වෙනස් වෙනවා. එහෙම ඉරිසියාවක් ඇතිවුණත් ඒක මිත්‍රත්වයේ නාමයෙන් යටපත් කරලා ඒ මොහොතෙ දි ඒ හැඟීම මඟ ඇරලා දිගට ම යාළුවො වගේ ඉන්න අය ඉන්නවා. අන්න එතනයි බැඳීම තියෙන්නෙ.

කවුරුහරි කියනවා නම් අනේ අපි නම් කාටවත් ඉරිසියා අරන්නෙ නෑ. හැමෝගෙ ම සතුට ප්‍රාර්ථනා කරනවා කියලා ඒක තමා ලොකු ම තක්කඩිකම. සුචරිතවාදී බව වැඩිවෙනවා කියන්නෙ ම රහස් වැඩියි කියන එක. අපි හැමෝම මිනිස්සු නේ. ඉතින් මේ ලක්ෂණ අපි හැමෝගෙ ම අඩු වැඩි ව තියෙනවා.
ඉතින් එහෙම වුණ පළියට අපි අපේ සියලු වැඩ නවත්තන්න හොඳ නෑ.

අපි ඉස්සෙලා ම අපිව තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතේ සතුට, දුක මොකද්ද කියලා නිරාවරණය කරගන්න ඕනෙ. තමන් කැමති දේ කරලා සතුටක් ලබන්න උත්සාහවන්ත වෙන්න ඕනෙ. ඔන්න එතකොට තමා අයෙත් අර ප්‍රශ්නෙ එන්නෙ. තමන් කැමති දේට එකඟ වෙන පිරිසක් හදාගන්න එක. ඒක ඉතා මත් බැරෑරුම් කටයුත්තක්. එහෙම පිරිසක් නැතිවුණොත් අපිට නියත වශයෙන් ම හුදකලා වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒ මුලු සමාජය ම වෙනස් කරන්න තමන්ගේ මතය පතුරවන්න වෙනවා. ඒක අරගලයක්. අරගල කරනවද? හුදකලා වෙනවද? මේවා හිතන් තරම් ලේසි ප්‍රශ්න නෙමෙයි.

අරගලය කියන්නෙ ම පිරිස් බලය. පිළිගැනීම. හුදෙකලාව කියන්නෙ කොන් කිරීම. ප්‍රතික්ශේප කිරීම.
මනුස්සයෙක් ප්‍රතික්ශේප වුණා ම මොකද වෙන්නෙ? ඒක දුකක්. ඉතින් ඒ දුක සතුටකට පරිවර්තනය කරන්න බැරි ද?
පිරිස සමග කරන අරගල වෙනුවට පුද්ගල කැරැල්ල ආරම්භ වෙන්නෙ එතන ඉඳන්. දුක මූලික කරගෙන සතුට උපදින්නෙ එතන ඉඳන්. තමන්ගෙ සතුට වෙනුවෙන් තමන් ජීවත් වෙන්න පටන් ගන්න ගන්නෙ එතන ඉඳන්. අනිත් අයව පසෙකින් තියලා තමන්ගේ ගමන යන්න පටන් ගන්නෙ එතන ඉඳන්.


මේක ටිකක් මනස එක්ක කරන සෙල්ලමක්. අපි හැම තිස්සෙ ම හිතන්න ඕනේ අපේ අරමුණු දිහා. සමහරක් වෙලාවට ඒ අරමුණු අපිට නිශ්චිත කාලවලදි ළඟා කරගන්න බැරිවුණා ම දුකක් දැනෙනවා තමයි. ඒත් එහෙම වුණා කියලා අපි පසුබසින්න හොඳ නෑ. සිදුහත් තට්ට තනියම අවුරුදු හයක් දුක් වින්ඳා නම් ඇයි අපිට බැරි? කවුරු ආවත් ගියත් හිටියත් අපි අපේ වැඩ කරගෙන යන්න ඕනෙ තනියම. එහෙම හිතන තරමට මනස ශක්තිමත් වුණොත් මේ සතුට දුක කියන කාරණා අපිට අදාළ වෙන්නෙ නෑ. මොකද අපි දන්නවා මේ හැම දේ ම තමන් තුළ ගොඩනඟා ගත්ත මායාවක් විතරයි කියලා.

Rtr. Sasantha Indrajith