You are currently viewing “අඳුරු සෙවණැලි” – අවසාන දිගහැරුම…

“අඳුරු සෙවණැලි” – අවසාන දිගහැරුම…

බංගලාවේ තත්ත්වය උඩු යටිකුරු වී තිබූ බැවින්ද, ලොකු හාමු බීමත්කමට ඇබ්බැහි වීමත් නිසාද, පොඩි හාමුගේ හෙට දිනය ගැන ඇනි අම්මාට දැනුණේ මහත් බියකි.
සමදරා හාමු වෙනුවෙන් තමන්ට කළ හැකි එකම දෙය පොඩි හාමු රැක බලා ගැනීම බව සෑම විටම සිතූ ඇනි අම්මා, පොඩි හාමුගේ ආරක්ෂාව හා යහපත පිළිබඳ සොයා බැලීම තම පරම වගකීම ලෙස සලකා කටයුතු කළාය. ලොකු හාමුගේ බීමත්කම නිසා ඔහුට දරුවා පිළිබඳ අවධානය ගිලිහී යා හැකි බැවින්, පොඩි හාමුට කිසිදු අනතුරක් නොවීමට වගබලා ගැනීමද ඇය තම යුතුකම ලෙස සැලකුවාය.

මෙලෙස මාස කිහිපයක් ගතවිය….ලොකු හාමුගේ ක්‍රියාකලාපය ටිකෙන් ටික යථා තත්ත්වයට පත්වෙමින් තිබීම පිළිබඳව නම් ඇනි අම්මාට පැවතියේ ඉමහත් සතුටකි.

දිනක් සුපුරුදු පරිදි වැඩ කටයුතු අවසන් කර කාමරය දෙසට එද්දී කවුරුන් හෝ කාමරය තුල සැරිසරන අයුරු ඇනි අම්මා ඈතදී දුටුවාය. ඔලුවේ සිට වසාගත් කවුරුන් හෝ එහි සිටින අයුරු දුටු ඇනි අම්මා සිටි තැනින් හෙමිහෙමින් තම කාමරය තුළට පිය නැගුවාය.

කාමරයට ගොස් තදින් දොර වසාගත් ඇනි අම්මාට එකවරම ක්ලාන්ත ගතියක් දැනුණේ දැඩි සැර බෙහෙත් ගඳක් කාමරයෙන් දැනුණු නිසාය. එත් සමගම වටපිට බැලූ ඇනි අම්මා, ඇඳ අසල මූඩිය ඇර දමා තිබූ බෝතලයක් දුටුවාය. ඒ ක්ෂණයෙන් එම බෝතලේ කටට කෝප්පය තබා සිරකර වැසූ ඇනි අම්මාට ඇස් දෙක නිලංකාර වන සෙයක් දැනුණි. බිම හිඳගත් ඇනි අම්මාට එතකින් පසු සිදුවූ කිසි දෙයක් ගැන මතකයක් නොමැත.

සමුදරා හාමු… සමදරා හාමු…මට සමාවවෙන්න යන තියුනු හඬකින් ඇනි අම්මා හෙමිහෙමින් ඇස් ඇරියාය. ඈතට වී වෙව්ලමින් පිස්සියක මෙන් නන් දොඩවන කමලාව ඇනි අම්මා දුටුවාය. පිටර් ජේම්ස්ගේ පාපොච්චාරණයෙන් කමලා හා සිරිපාල වරදකරුවන් ලෙස ඔප්පු වූවාත් කමලාට පැවති දැඩි මානසික ආබාධය නිසා, ඇයව නිදහස් කොට මානසික රෝහලක් වෙත මාරු කර යවන ලදී. නමුත් පසුව දැනගන්නට ලැබුණේ ඇය එම රෝහලෙන් පලා ගොස් ඇති බවය. එහෙත්, ඇය නැවතත් බංගලාවට පැමිණේ යැයි කිසිවෙකු සිතුවේ නැත.


ටික වෙලාවක් යනතුරු ඇනි අම්මා තවදුරටත් ක්ලාන්ත ගතියක් මවා පෙන්නමින් එලෙසම වැතිර සිටියාය. ඇනි අම්මාගේ වාසනාවට කමලා අනික් පැත්ත හැරුණාය. ඒ ගමන්ම ඇනි අම්මා ඇර තිබූ දොරෙන් එළියට පැන ගත්තාය. දොරේ යතුරු කැබැල්ල ඇනි අම්මාගේ සායේ සාක්කුවේ තිබූ බැවින්, ඈට වහාම දොර වසා දැමීමට හැකි විය. කමලා ඒ තුළ සිර වූවාය. ඇය මහත් හඬින් විලාප දෙන්නට වුණි.

ඇය විගහට දුවගොස් සිදුවූ සියල්ල ලොකුහාමු මහතාට විස්තර කර දෙන ලදී. ලොකු හාමු මහතා පොලීසියටත් කමලා පැන ගොස් තිබූ මානසික රෝහල වෙතටත් දැනුම් දුන් පසු ඔවුන් පැමිණ කමලාව රැගෙන යාමට කටයුතු කලහ.
ඇයව රැගෙන යන අතරතුර, ඇනි අම්මාට මහ හඬින් ශාප කරමින්, තමන් එහි පැමිණියේ පොඩි හාමුගේ ජීවිතය විනාශ කිරීමේ අරමුණින් බවත්, එහෙත් ඇනිඅම්මා තමන්ව සොයාගත් නිසා එය ඉටු කර ගැනීමට නොහැකි වූ බවත් කමලා කෑගසමින් කියා සිටියාය.

මෙම සිදුවීම් දාමයත් සමඟ කලකිරුණු ස්වභාවයෙන් සිටි ලොකු හාමු, පොඩි හාමුද රැගෙන විදෙස්ගත වීමට තීරණය කළේ තවදුරටත් බංගලාවේ පොඩි හාමුට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව වටහාගැනීම නිසාය.
ලොකු හාමු මේ බව ඇනි අම්මාට පැවසුවේ ඉතාමත් ශෝකයෙනි.
ඇයටත් මෙය දරා ගත නොහැකි විය.

එහෙත් වලව්වේ සිදුවූ සියලුම දේ දෙස බලන විට මෙය ඉතාමත් උචිත තීරණයක් බව ඇනි අම්මාට වැටහුණි.
පුංචි හාමු තම දරුවෙකු මෙන් දිවි හිමියෙන් ආරක්ෂා කිරීම ගැන ලොකු හාමු ඇනි අම්මා වෙත දහස් වාරයක් ස්තුතිවන්ත වෙමින් තමා කෙදිනක හෝ පිටරට සිට පැමිණෙන තෙක් වලව්ව රැක බලා ගත යුතු බව ලොකුහාමු ඇනි අම්මාට පැවසුවද, ඇනි අම්මා එය ප්‍රතික්ෂේප කලේ තමාටත් තම ගම රට බලා යාමට අවශ්‍ය බව කියමිනි.

එකවරම පුංචි හාමු කවුරුන් සමඟ හෝ දුරකථනයෙන් හිනා වෙවී කතා කරමින් සිටින බව ඇනි අම්මාත් ලොකු හාමුත් දුටුවහ. පොඩි හාමු වේගයෙන් බංගලාවේ පාර දෙසට දිව ගියේය.

ඇනි අම්මාත් ලොකු හාමුත් පුංචි හාමු පසුපස දිව ගියහ. ඉන්පසු ඔවුන් දුටුවේ රතු පාට කාර් රථයක් බංගලාව දෙසට ගමන් කරන බවය.

ලොකු හාමුගේ මව, පියා සහ නැගණිය කාර් රථයෙන් බැස බංගලාව දෙසට පිය නැගුවහ. ඔවුන් බංගලාව තුළ සිදුවූ සියලුම දේ දැන ගෙන ඇත.

ඔවුන් ලොකු හාමුට හා පොඩි හාමුට විදෙස්ගත වීමට අවශ්‍ය සියලුම පහසුකම් සකස්කර දීමට විගසින් කටයුතු කරන ලදි.

මෙලෙස දින ගතවී, ලොකු හාමු හා පොඩි හාමු විදෙස්ගත වන දිනයද උදා විය.

තමන් මෙතෙක් දිනක් තම දරුවෙකු සේ රැක බලාගත් පොඩි හාමුගෙන් වෙන්වීම ඇනි අම්මාට දරාගත නොහැකි වේදනාවක් විය.

බංගලාවේ ස්වාමියාගේ නික්ම යාමත් සමඟ තමන් වෙත පැවරී තිබූ වගකීම්ද මෙතැන් සිට අවසන් වූ බැවින්, ඇනී අම්මා නැවත ගම රට බලා යාමට තීරණය කළාය. අවසානයේ බංගලාවේ දොරටුවෙන් පිටතට පා තැබූ ඇය, තවත් පියවරක් ඉදිරියට තැබීමට පෙර මොහොතකට නතර වූවාය.

ඇය සෙමින් ආපසු හැරී බංගලාව දෙස බැලුවාය. තම ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවී ගිය ඒ ස්ථානය දෙස ඇය අවසන් වරට බැලුවේ, එයට නිහඬ ගෞරවයක් පුද කරන්නාක් මෙනි.

නමුත් සිදුවූ සියල්ල චිත්‍රපටයක ජවනිකා පෙළක් මෙන් එකින් එක ඇගේ මනස ඉදිරියේ දිගහැරෙද්දී, දිගු සුසුමක් හෙළූ ඇය බංගලාව දෙසින් නික්ම ගියේ, ඒ බිත්ති අතර සිදුවූ සියල්ලේ අඳුරු සෙවණැලිවලට සදාකාලිකවම තිත තබමිනි…

සමාප්තයි.

Leave a Reply