You are currently viewing “අඳුරු සෙවණැලි” – තෙවන දිගහැරුම…

“අඳුරු සෙවණැලි” – තෙවන දිගහැරුම…

එදින ඉරු දිනක් විය.පෙර දින රාත්‍රිය පුරා ඇද හැලුනු වර්ෂාව නිසාත් ඈත කඳුකරයේ සිට පැමිණි මීදුමත් නිසා බංගලාව අවට ඇති කළේ පාලු බවකි. බංගලාවේ යකඩ ගේට්ටුවේ කුළුණු මත තිබූ බල්බ වලින් එක බල්බයක් නිවි නිවී දැල්වුනු අතර අනෙක නිවීම ගොස් තිබූ නිසා බංගලාවේ පාළු බව තව තවත් වැඩි විය.

ඇනි අම්මා සුපුරුදු ලෙසම අවදි වී මුළුතැන් ගෙයට පිය නැගුවාය. නමුදු පෙර මෙන් දැන් ඇයට ආහාර පිසීමට මහන්සි වීමට අවශ්‍ය නොවූවාය. මන්ද කමලා විසින් සියලු කටයුතු සිදු කල බැවිනි. එදින ද සුපුරුදු ලෙස කමලා ආහාර පිසීම ආරම්භ කර තිබුනාය.

“කමලෝ වතුර කේතලේ ලිපෙන් තිබ්බා නම් කිරි හදලා ගන්න” ඇනි අම්මා පැවසුවේ මුළුතැන්ගේයි පැත්තක තිබූ බංකුවේ ඉඳගනිමිනි. සියලු ඉවුම් පිහුම් කටයුතු කමලා අතින් සිදු වුවද ලොකුහාමුට හා පොඩිහාමුට උදැසන ලබා දෙන කිරි වීදුරු සුපුරුදු පරිදි සෑදුවේ ඇනි අම්මා විසිනි. ඇනී අම්මාගේ කීමට සවන් දුන් කමලා කපමින් සිටි කැරට් අලය පසකින් තබා වතුර කේතලය ලිපෙන් තිබ්බාය.

“ලොකුහාමු නම් තවම නැගිටලා නැතුව ඇති මයේ හිතේ” කමලා පැවසුවේ ඇනි අම්මා දෙසට දෑස් යොමාය.

“අනේ මම දන්නේ නෑ කාමලෝ මේ බංගලාවට මොන හෙණයක් පාත්වුනාද කියලා… යස අගේට හිටපු ලොකු හාමිනේ එකපාරටම නැතිවුණා, ඒත් එක්කම ලොකුහාමු බීමට ඇබ්බැහි වුණා.” ඇනි අම්මා පැවසුවේ මහත් වූ සුසුමක් සලමිනි. බංගලාවේ සේවිකාවක වුවද ඇනි අම්මාට ලොකුහාමු මහතා තම දරුවෙක් මෙන් විය.

“මට බය වෙන මොනවත් නෙවේ… මේ හය හතර දන්නැතිපොඩු හාමුට මොන කල දසාවක් යයිද මෙහෙම ගියොත් ” නෙත අගට පැමිණි කඳුළු බිංදු හැට්ටේ කොනකින් පිස දමමින් ඇනි අම්මා පැවසුවේ මහත් වූ ශෝකී හඬකිනි.

“තව ටික කාලෙකින් මේ හැම දෙයක්ම හරි යයි ඇනි අම්මේ” කමලා පැවසුවාය.

“මේවා මීට කලින් හරි යන්න තිබුණා සිරිපාලයා හවසට හවසට බෝතල් උස්සන් බංගලාවට රිංගන්නේ නැතුව හිටියා නම්,” ඇනී අම්මා එය පැවසුවේ පෙර තිබූ ශෝකි හඩින් නොව මදක් කේන්ති ගිය ස්වරයකිනි.

“අනේ මම කියලා මොනවා කරන්නද ඇනි අම්මේ… මම මේ මිනිහට හැමදාම කියනවා ඕක නවත්ත කියලා…කොහෙද අහන එකක් ඈ” කමලා පැවසුවේ බෙහෙවින් යටහත් පහත් ලෙසය.

“මොනවා කරන්නද ඉතින් වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න” යැයි පැවසූ ඇනි අම්මා බංකුවෙන් නැගිට ලිප අසලට සිටියේ නටමින් තිබූ උණුවතුර කේතලය බිමින් තබා කිරි සෑදීමටය.

දවස ගෙවී ගියේ නොදැනීමය. සුපුරුදු පරිදි සවස් යාමයේ බංගලාවේ ජනෙල් දොරවල් වසමින් ඇනි අම්මා බංගලාව තුළ සැරි සැරුවාය. මද වේලාවකින් ඇසුනේ යතුරු පැදියක් පැමිණෙන හඬකි. එම හඬ ඇසුණු සැණින් ඇනි අම්මා බංගලාවේ ඉදිරිපස දොර වෙත ගමන් කලේ “අර මිනිහා අදත් බොන්න උසන් ඇවිත් දන්නේ නෑ” යන සිතුවිල්ල ඇතිවය.

ඇගේ නිගමනය නිවැරදි වූවාය. සුපුරුදු පරිදි සිරිපාල අදත් මත්පැන් බෝතලයද සමඟ පැමිණ සිටියේය. හිතට දැනුණු මහත් කෝපයත් සමඟ ඇනි අම්මා ඉදිරියට ගොස්, “මොනවද මිහිහෝ මේ කරන දේවල්? හැමදාම බෝතල් උසසන් එන්නේ… උඹට ඕනේ හාමු මහත්තයාව ලෙඩ කරන්නද ?”

“අනේ ඇනි අම්මේ මම මේවා මට ඕනවට කරන දේවල් නෙමේ. ලොකුහාමු කියනවා… මම ගේනවා.” සිරිපාල පැවසුවේ කට කොනකින් නගා ගත් සිහින් කපටි සිනාවක්ද සමඟිනි. අනතුරුව තම නිවස මෙන් බංගලාව තුළට ඇතුළු වූ සිරිපාල ලොකුහාමු මහතාගේ කාර්යාලය දෙසට පිය නැගුවේ සේවකයෙකු ලෙස නොව බංගලාවේ හිමිකරුවකු ලෙසය.

“මේවා ලොකුහාමිනාලගේත් වැරදි. කිසිම ගරුසරුවක් නැති කොළඹ ඈයෝ ගෙවල් අස්සට දාගත්තහම මෙහෙම තමා” යැයි සිතූ ඇනි අම්මාට මතක් වූයේ මීට වසර දෙකකට පමණ පෙර දුර්වර්ණ වූ ගවුමකුත් ද ඇඳගෙන ලොකුහාමිනේ සොයා පැමිණි කමලාවය.

පුංචිහාමුදු සුපුරුදු පරිද්දෙන් හෙමි හෙමින් තමන් දෙසට ගමන් ගන්නා අයුරු දුටු ඇනි අම්මාගේ පපුව හෝස් ගා පත්තු වී ගියාය.

මීට පෙර නම් ලොකුහාමු ද පුංචි හාමුව තුරුල් කරගෙන සුරතල් කරමින් ගේ පුරා ඇවිදින දසුන නිවසේ සියලු දෙනාගේ සිත් ප්‍රබෝධමත් කරවන දසුනක් විය. නමුත් වලව්වේ සමදරා ලොකු හාමිනේගේ මරණයත් සමගම සියල්ල නොසිතූ පරිද්දෙන් වෙනස් වී ඇත්තේ වලව්වම අද්භූත කරවමිනි. ලොකු හාමිනේ ජීවත්ව සිටි කාලයේදී ගම්මුන් ඇයට ආදරයට පැවසුවේ සමදරා හාමිනේ කියායි. මේ සියල්ල මෙනෙහි කරමින් දිගු හුස්මක් හෙලූ ඇනි අම්මා පුංචිහාමු රැක බලා ගැනීම තමාගේ වගකීමක් ලෙස සිතුවාය. ලොකුහාමු කෙසේ හෝ වේවා පුංචිහාමු වෙනුවෙන් මේ සියල්ල රැකිය යුතුය යන්න ඇනි අම්මාට හැඟිනි.

ඒත් විටින් විට ජනේලයෙන් එබිකම් කරන්නේ හොල්මනක් යන්න සැක හැර දැනගත යුතු යැයි ඇනි අම්මාට සිතුනි. සිරිපාල හා කමලාගේ හැසිරීම් කලාපය ද ඇනී අම්මාට දිරවූයේම නැත. නිතරම හැම දෙයකම ඇද බැලීමේ පුරුද්දක් කමලා සතුවිය. පොඩිහාමුගේ කාමරය අස්පස් කිරීමේදී ද කමලා හැමදෙයක්ම සුපරික්ෂාකාරීව බලන බව ඇනි අම්මා නිරතුරුවම දුටුවාය. හොර රහසේම සියල්ල කුටු කුටුගාමින් සිරිපාලට පවසන්නේද කුමක් හෝ අභිරහසක් සොයන්නාක් මෙනි. සිරිපාල කමලා ලොකු හාමුගේ ක්‍රියා කලාපය ඇනි අම්මාට විටෙක ප්‍රහේලිකාවකි.

සුපුරුදු පරිදි දිනය ගෙවෙමින් කළුවරත් සමඟ රාත්‍රී කාලයට එළැඹ ඇත. සමදරා හාමු සිටි කාලෙක මෙන්ම මල් පහන් පූජා කර පිරිත් හඬ ගේ පුරා හඬ නැගෙන පරිද්දෙන් ඇනි අම්මා රේඩියෝව දැම්මාය.

වලව්වේ ඇති සියලු දෝස දුරු කීරීමට පිරිත් බලේ සමත් වේවිද? මෙය සැබවින්ම අමනුස්ස දෝසයක්ද, එසේත් නැතිනම් අමනුස්ස වෙසකින් එන මිනිස් දෝසයක් දැයි කියා තහවුරු කරගැනීමට ඇනි අම්මා සමත් වේවිද? සිව් වන දිගෙහැරුමෙන් හමුවනතුරු විමසිල්ලෙන් සිටින්න…

Leave a Reply