
ඇසළ පොහොය ලෝක වාසී බෞද්ධ ජනතාවට ශාසනිකව සහ සංස්කෘතිකව වැදගත් දිනයක් වේ. එයට හේතුවන ප්‍රධාන සිදුවීම් වලින් එකක් ලෙස සිදුහත් කුමරු මව්කුස පිලිසිද ගැනීම දැක්විය හැකිය. සුදෝ සුදු ඇත් පැටවෙකුගේ ස්වරූපයක් මහමායා දේවියගේ කුසට ඇතුලු වන ආකාරය සිහිනයෙන් පෙන්වමින් සිදුහත් කුමරු තම මව් මහමායා දේවියගේ මව්කුස පිලිසිද ගත්තේය.
අනෙක් සිදුවීම නම් සිද්ධාර්ථ කුමරු ගිහි ගෙයින් නික්මීම හෙවත් අභිනිෂ්ක්‍රමණය කිරීමයි. සියල්ල අතහැර දමා කන්ථක අසු පිට නැගි සිදුහත් කුමරු කෙස් රැවුල් කපා දමා නේරංජන නදිය තරණය කරමින් සත්‍ය සොයා නික්මයාම සිදු වූයේද මෙවන් පුර පසලොස්වක පොහොය දිනයකදීය.
එලෙසම වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බුද්ධත්වය ලැබීමෙන් පසු පස්වග තවුසන් වන කොණ්ඩඤ්ඤ, වප්ප, බද්ධ, මහානාම, අස්සජි යන තව්සන්ට ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කරන ලදී. එපමණක් නොව මාතෘ දිව්‍ය රාජයා ඇතුලු දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමද සිදු වූයේ මෙවන් පුර පසලොස්වක පොහොය දිනකය.
එපමණක් නොව කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වීම ඇතුලුව බුදුරදුන්, තීර්ථයන්ගේ මානය බිද දමමින් ගන්ධබ්බ රුක් පාමුල මහා පෙලහර විදහා පානු ලැබුවේද මෙවන් ඇසල පුර පසලොස්වක පොහෝ දිනකදීය. මේවා සාශනික වශයෙන් වැදගත් සිදුවීම් වන අතර තවත් අමතක කල නොහැකි පැතිකඩක් වනුයේ සංස්කෘතිකව මෙම ඇසල පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධ ජනයාට වැදගත් වීමට හේතු සාධකය.

උදාහරණ ලෙස, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ උපසම්පදාව ලැබූ භික්ෂුන් නොවූයෙන් සියම් හෙවත් බුරුම දේශයෙන් උපාලි තෙරුන් ඇතුලු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව පිහිටුවීම සිදු වූයේ මෙවන් ඇසළ පොහෝ දිනකය. විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරනුයේද මෙම සමයේය. අනුරාධපුරයේ රජකම් කල දුටුගැමුණු රජු විසින් රුවන්වැලිමහා සෑය සෑදීමට මුල් ගල තැබුවේද මෙවන් පුර පසළොස්වක පොහෝ දිනකය. එලෙසම මහා සෑය මධ්‍යයේ ධාතු නිධානය සිදු වූයේද මෙවන් වූ දිනයකදීය. තවත් වැදගත් සිදුවීමක් නම් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ කළිඟු රට හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් විසින් ලංකාවට ගෙනා දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් ඇසළ පෙරහැර පැවැත්වීමයි.
මෙලෙස ලෝකවාසී බෞද්ධ ජනයාට සුවිශේෂි දිනයක් වූ මෙම ඇසල පුර පසලොස්වක පොහෝ දිනයේ බෞද්ධ ජනී ජනයා ආමිස හා ප්‍රතිපත්ති පූජා වල නිරත වෙමින් මෙම දිනය සැදැහැවත්ව ගත කරනු ලබයි.
