කෙසේ හෝ පිරිත් සඡ්ජායනා කරන තැනක හොල්මන් අවතාර වලට ඉඩක් නොමැති බව නූගත් වුවත් ඇනි අම්මාට පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ වදනින් සිහිපත් විය.
කාත් කවුරුන් නොමැති, ගුණ යහපත් කමෙන් පිරුණු, ලෙඩ රෝගයකින් කිසි දිනෙක නොපෙලුනු සමදරා හාමු හදිසියේම මියගියේ ඇයිද යන්න සිතන හැම වෙලේම ඇනි අම්මාගේ නෙතට කඳුළක් ඉනුවාය. කෙලෙස කොහෝ වලව්වේ පවතින මේ අද්භූත මායාව කුමක්දැයි සොයා ගත යුතුම බව ඇනි අම්මා සිතුවාය. පත පොතේ දැනුමක් නොමැති වුවද කෙනෙකුගේ හැසිරීමෙන් පුද්ගලයාගේ තත්ත්වය මැන ගැනීමට තරම් ඇනි අම්මා බුද්ධිමත් වූවාය.
පුංචි හාමුට කරදරයක් වේවිදැයි යන සිතුවිල්ලෙන් නිතරම ඇනි අම්මාගේ සිත භීතියට පත්වූවාය. “නෑ පුංචි හාමුව මම රකිනවා” යන්න ඇනි අම්මා තමාටම සපථ කරගත්තාය. රෑ පානේ එළියට බැසීමට සමදරා හාමු සිටින කලෙක නම් කිසි දිනකත් බිය නොවූ ඇනි අම්මා දැන් දැන් එලිපහලියට ගියේද තැතිගත් සිතින් යුතුවය.
සතුන් ඒම වැළැක්වීමට වැට මායිමට දමා තිබූ ඇණ ගැසූ ලී කැබැල්ලක් ඇනි අම්මා දිව ගොස් ගෙන ආවාය. එය හොල්මන් අවතාරය සැරිසරන ජනේලය ළඟින් තබනවා යන සිතුවිල්ලෙන් ඇනි අම්මා දොර ඇරියා පමණි. වේගයෙන් හමා ආ සුළං රැල්ලෙන් ඇනි අම්මාගේ දෑස් පියවුනි. සිතට ශක්තිය ගත් ගත් ඇනි අම්මා මේකෙන් හරි මට හෝඩුවාවක් දැනගැනීමට හැකිවේවායි සිතමින් පය ඉස්සර කරමින් ජනේලය ළගට ඇවිද ගියාය.
ඇය ඇණ සහිත ලී කැබැල්ල ජනේලයේ පාමුල තැබුවේ කාටවත් නොපෙනෙන පරිදිය. ඉන්පසු විගහට තමන්ගේ කාමරයට ගිය ඇනි අම්මා කාමරයේ විදුලි ලාම්පුව නිවා ඇඳ මත වැතිරී දෑස් පියා ගත්තාය. එහෙත් නින්ද නම් තවත් හෝරා ගණනකට ඇය කරා නොපැමිණෙන බව ඇයට විශ්වාසය. රාත්රී දහයේ කණිසම “ටාං… ටාං…” රාත්රී එකොළහේ කණිසම “ටාං…. ටාං…” රාත්රී දොළහේ කනිසම “ටාං… ටාං…” ඒත් නින්ද ඇය අහලකවත් නොවීය.
එක්වරම හීන් කෙඳිරිලි හඬක් ඇසුණි. ඒ සමගම කිසිවෙකු කොරගසන්නා වාගේ හඬක් ඇනි අම්මාගේ සවනත වැකුණි.
ඇනි අම්මා හෙමි හෙමින් ඇඳ මතවාඩි වූවාය.
රාත්රී දොළහත් පසුවී තිබියදී ඇසෙන මේ කෙඳිරිලි හඬ කාගේද? මෙයත් තවත් එක් මායාවක්ද? පස්වන දිගහැරුමෙන් හමුවනතුරු විමසිල්ලෙන් සිටින්න…
