“චානුක කෙවින් එදිරිසිංහ වන මම ඉෂිනි සවීකා සිරිතිලක යන අයව අද දින සිට මාගේ නීත්‍යානුකූල භාර්‍යාව ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලුදෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.”
“ඉෂිනි සවීකා සිරිතිලක වන මම චානුක කෙවින් එදිරිසිංහ යන අයව මාගේ නීත්‍යානුකුල ස්වාමිපුරුෂයා ලෙස භාරගන්නා බවට මෙහි සිටින සියලුදෙනා ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි.”
ඒත් සමඟම, චානුක කෙවින් එදිරිසිංහගේත් ඉෂිනි සවීකා සිරිතිලකගේත් ජීවිත දෙක එකම බැඳීමකින් බැඳුණි.
නමුත්…
ව්‍යාපාර ලෝකයේ නමක් දිනාගත්, තමන්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය ගොඩනඟාගෙන සිටි තරුණ ව්‍යාපාරිකයෙකු වූ චානුක කෙවින් එදිරිසිංහට, විවාහය යනු ජීවිතයට අවශ්‍ය දෙයක් නොවීය. එහෙත් චානුකගේ මවටත් පියාටත් අවශ්‍ය වූයේ ඔහුට ගැළපෙන, සරල, අහිංසක, පවුලේ වටිනාකම් දන්නා ගැහැණු ළමයෙකු ඔහුගේ ජීවිතයට එක් කිරීමටය. ඒ සෙවීමේ අවසානයේ ඔවුන්ගේ තේරීම වූයේ ඉෂිනියි. චානුකගේ පියාගේ පාසල් කාලයේ සිටම සමීප මිතුරෙකු වූ සිරිතිලක මහතාගේ එකම දියණිය වූ ඉෂිනි, නුවර සරල පරිසරයක හැදී වැඩුණු තරුණියකි.
විදුහල්පතිවරයෙකු වූ ඇගේ පියාගේත්, ගුරුවරියක වූ ඇගේ මවගේත් අඩිපාරේ යමින් අධ්‍යාපනයට මුල් තැන දුන් ඇය, උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියක් බවට පත්ව සිටියාය. දිගු කළු පැහැති කොණ්ඩය, සරල ඇඳුම් පැළඳුම්, නිහඬ සිනහව සහ කිසිවෙකුගේ අවධානය සොයන්නේ නැති අහිංසක ස්වභාවය; ඉෂිනිව අනෙක් තරුණියන්ගෙන් වෙනස් කළේ ඒ සරලකමයි. චානුකගේ මවටත් පියාටත් අවශ්‍ය වූයේ හරියටම එවැනි ගැහැණු ළමයෙකි.
නමුත් චානුකට?
ඉෂිනි යනු ඔහුට අවශ්‍ය වූ කෙනෙකු නොවීය. කොළඹ සුඛෝපභෝගී ජීවිතයට හුරු වී සිටි චානුකට, නුවරින් පැමිණි සරල ඉෂිනි පෙනුණේ ඔහුගේ ලෝකයට කිසිසේත්ම නොගැළපෙන “ගමේ කෙල්ලක්” ලෙසය. ඇය ගැන දැනගැනීමටවත්, ඇයව තේරුම් ගැනීමටවත් ඔහුට අවශ්‍යතාවක් නොවීය. ඊටත් වඩා… චානුකගේ හිතේ ගැහැණුන් ගැන තිබූ විශ්වාසය බිඳ වැටීමට හේතු වූ අතීතයක් තිබුණි. එම අතීතය ඔහුගේ හදවත වසා දැමීමට තරම් ප්‍රබල විය. ඒ නිසා කිසිදු ගැහැණියක් ගැන පහසුවෙන් විශ්වාස නොකළ චානුකට, නොදන්නා පවුලකින් පැමිණි ඉෂිනිව විශ්වාස කිරීම කිසිසේත්ම පහසු නොවීය. එහෙත් ඔහුගේ පියාගේ එක් තීරණයක් ඔහුට සියල්ල වෙනස් කළේය.
“මේ විවාහයට කැමති නැත්නම්, මගේ ව්‍යාපාරවලින්වත්, දේපළවලින්වත් කිසිම දෙයක් උඹට ලැබෙන්නේ නෑ.” එය ඉල්ලීමක් නොව තීන්දුවක් විය.
තම පියාගේ ව්‍යාපාරික අධිරාජ්‍යයත්, වසර ගණනාවක් පුරා තමන්ට හිමිවීමට නියමිතව තිබූ දේපළත් අතහැරීමට චානුක සූදානම් නොවීය. ඒ නිසා අවසානයේ ඔහු ඉෂිනිව විවාහ කරගැනීමට එකඟ විය. ඒ ආදරය නිසා නොවේ. කැමැත්ත නිසාත් නොවේ. තමන්ට අහිමි විය හැකි දේවල් නිසා පමණි.
විවාහ උත්සවයේ සියලු කටයුතු අවසන් වන විට රාත්‍රිය බොහෝ දුරට ගෙවී ගොස් තිබුණි. විවාහයෙන් පසු දෙදෙනාම පැමිණියේ චානුක වෙනුවෙන් අලුතින්ම සූදානම් කර තිබූ නිවසටය. නවීන පන්නයට ඉදිකර තිබූ එම නිවස සෑම පහසුකමකින්ම සමන්විත වූ අතර, චානුකගේ ජීවන රටාව මනාව පිළිබිඹු කළේය. කාරයෙන් බැස නිවස තුළට ඇතුළු වූ මොහොතේ සිටම චානුක ඉෂිනි දෙස බැලුවේවත් නැත. පියගැටපෙළ දිගේ වේගයෙන් උඩුමහලට ගිය ඔහු පිටුපසින් ඉෂිනිද නිහඬවම ගමන් කළාය. උඩුමහලට පැමිණි චානුක ප්‍රධාන නිදන කාමරයේ දොර අසල නැවතී ඇය දෙස බැලුවේ කිසිදු හැඟීමක් නොමැති දෑසකිනි.
“මේක මගේ කාමරේ.” ඔහු දොර විවෘත කරමින් පැවසීය.
“තමුන්ට වෙන ඕනෙම කාමරයක ඉන්න පුළුවන්.” ඉෂිනි මොහොතක් ඔහු දෙස බලා සිටියාය.
ඇය ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූවත් ඇගේ සිතට නොරිදුණා නොවේ. එහෙත් ඇය කිසිවක් නොකියා හිස මඳක් සොලවා එතැනින් ඉවත් වීමට සැරසුණාය.
“තව දෙයක්.” චානුකගේ හඬ ඇයව නැවත නතර කළේය. “කිසිම හේතුවකට මගේ කාමරේට එන්න එපා.” ඔහුගේ හඬෙහි තිබුණේ පැහැදිලි අනතුරු ඇඟවීමකි.
“ගෙදර වැඩ ටික කරගෙන, තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා. මගේ පෞද්ගලික ජීවිතයට හෝ මගේ වැඩවලට හොට දාගෙන එන්න එපා.” ඉෂිනිගේ ඇහිබැමි මඳක් ඉහළ ගියේය.
නමුත් චානුක එතැනින් නතර වූයේ නැත. “කොහොමත් මං තමුසෙලා වගේ ගමේ කෙල්ලන්ගේ හැටි හොඳට දන්නවා.” “සල්ලිකාරයෙක් දැක්කම කරේ එල්ලෙන්න තමයි බලන්නේ.”
එවර නම් ඉෂිනි නිහඬව සිටියේ නැත. ඇගේ දෑස්වල තිබුණේ කෝපයක් නොව, තමන්ගේ වටිනාකම ගැන තිබූ දැඩි විශ්වාසයකි.
“හොට දාන්න මං කුරුල්ලෙක් නෙවෙයි, මිස්ටර් චානුක.”
චානුකගේ මුහුණේ තිබූ සමච්චල් සිනහව මොහොතකට අතුරුදන් විය. ඉෂිනි තවදුරටත් ඔහු දෙසම බලාගෙන කතා කළාය. “අනිත් එක… ඔයාගෙ මහලොකු සල්ලි ඔයාම තියාගන්න. මට මං ගැන බලාගන්න පුළුවන්.”
චානුක ඇය දෙස බලා සිටියේ කිසිවක් සිතාගත නොහැකිවය.
ඔහු බලාපොරොත්තු වූයේ හිස පහත් කරගෙන නිහඬව ඔහුගේ සියලු වචන අසා සිටින ගැහැණු ළමයෙකි.
නමුත්… ඇය එසේ නොවීය. චානුකට තවත් වචනයක්වත් කියන්නට ඉඩ නොතබා ඉෂිනි හැරී තමන්ට වෙන් වූ කාමරය දෙසට ගියාය. චානුක තවමත් එතැනමය. ඔහුගේ දෑස් රැඳී තිබුණේ ඉෂිනි අතුරුදන් වූ දොර මතය.
“මේ කෙල්ල…” ඔහුට නොදැනුවත්වම මිමිණුණි.
විවාහය ගැන ඔහුට තිබූ සියලුම උපකල්පනවලට පළමු පැය කිහිපය තුළදීම ඉෂිනි සරල පිළිතුරක් දී තිබුණි.
ඇය ඔහුගේ මුදල් පසුපස පැමිණි කෙනෙකු නොවීය. අවම වශයෙන් ඇයට තමන්ව පහත් කරගෙන ඔහුගේ මුදල් වෙනුවෙන් ඉවසීමට නම් කිසිදු උවමනාවක් නොතිබුණි. චානුකගේ සිතේ පළමු වතාවට ඉෂිනි ගැන වෙනස්ම ප්‍රශ්නයක් මතු විය.
“එහෙනම්… මේ කෙල්ල ඇත්තටම කවුද?”
විවාහයෙන් පසුව උදාවුණු පළමු සඳුදා උදෑසන චානුක සුපුරුදු පරිදි උදෑසනම අවදි වී කාර්යාලයට යාමට සූදානම් විය. ඇඳුම් ඇඳගෙන, ඔරලෝසුවත් බැඳගෙන පහළ මාලයට පැමිණි ඔහුගේ දෑස් මුලින්ම සොයා බැලුවේ ඉෂිනිවය. නමුත් ඇය පෙනෙන්නට සිටියේ නැත. ඔහුට ඒ ගැන විශේෂයෙන් සොයන්නට තරම් උවමනාවක්ද නොවීය. උදෑසන කෑම මේසය වෙත ගිය චානුක මොහොතකට නතර විය. මේසය මත උණුසුම් කිරිබත් පිඟානක් සූදානම් කර තිබුණි. ඒ අසලම ඔහු වෙනුවෙන් පිළියෙළ කළ දවල් කෑම පෙට්ටියක්ද පිළිවෙළට ඔතා තබා තිබුණි. චානුකගේ දෑස් ඒ දෙසට මොහොතක් යොමු විය.
“හ්ම්ම්…”
ඔහු කිසිවක් නොකියාම කෑම ගෙන අවසන් කළේය. දවල් කෑම පෙට්ටියත් අතට ගත් ඔහු නිවසින් පිටවීමට සූදානම් වූ මොහොතේම පඩිපෙළ දෙසින් සිහින් පා සද්දයක් ඇසුණි. චානුකගේ දෑස් ඒ දෙසට හැරුණේ නිරායාසයෙනි.
ඉෂිනි සරල ඔසරියකින් සැරසී සිටි ඇය, දිගු කළු පැහැති කොණ්ඩය තනි කරලකට ගොතා පිටුපසට දමා තිබුණි. මුහුණේ තිබුණේ ඉතා සරල මේකප් එකකි. අධික ආභරණවත්, කැපී පෙනෙන්නට උත්සාහ කළ සැරසිල්ලක්වත් ඇය සතුව නොතිබුණි.
එහෙත්… ඒ සරලකම තුළ තිබූ සුන්දරත්වය චානුකගේ සිත මොහොතකට නතර කළාක් මෙන් විය. ඔහුගේ හදවතේ සිහින් ගැස්මක් ඇති වුණත්, එය තම මුහුණෙන් කිසිසේත්ම පෙනෙන්නට ඉඩ නොදීමට චානුක වගබලා ගත්තේය. ඇය දෙස තවත් මොහොතක් බලා සිටි ඔහු අවසානයේ හඬ අවදි කළේය.
“තමුසේ කොහෙද යන්න හදන්නේ?” ඉෂිනි ඔහු දෙස බැලුවාය.
“මං මෙහේ ඉස්කෝලෙකට මාරුවක් හදාගත්තා.” චානුකගේ මුහුණේ කිසිදු වෙනසක් නොවීය.
“හ්ම්ම්…” එපමණක් පැවසූ ඔහු දොර දෙසට ගියේය.
ඉෂිනි තවමත් ඔහු දෙස බලා සිටියාය.
“අනේ මන්දා මේ මනුස්සයා…” ඇය සිතින් සිනාසුණාය.
“බස්සෙක් වගේ ‘හුම්ම්’ ගාලා යන්න ගියා. කොහෙද යන්නේ කියලා අහලා දාගෙන ගියා නම් හෙන ගහනවද දන්නෙ නෑ.”
චානුක කිසිවක් නොදැන තම මෝටර් රථය වෙත ගියේය. ඇත්තටම ඔහුට ඉෂිනි කොහේ යන්නේද, කුමක් කරන්නේද යන්න ගැන උනන්දුවක් තිබුණේ නැත. ඉෂිනිට අලුත් ජීවිතය ගැන කිසිදු බියක් තිබුණේ නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇයට කොළඹ නගරය අලුත් තැනක් නොවීය. තනිවම ගමන් කිරීම හෝ තමන්ගේ කටයුතු තමන් විසින්ම කරගැනීම ඇයට කිසිසේත්ම අමුතු දෙයක් නොවීය.
ඉෂිනිට කොළඹ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක 10 ශ්‍රේණිය භාරව පත්වීම ලැබී තිබුණි. තරමක් අපහසු වේයැයි සිතුවත්, ටික දිනක් යනවිට ළමයින් ඉෂිනිට එකතු වූවා පමණක් නොව, තමන්ගේ විෂයට මෙන්ම අනිත් විෂයන් වලටත් ළමයින්ව උනන්දු කරවීමට ඇයට හැකි විය.
චානුක සහ ඉෂිනිගේ ජීවිත ඉදිරියේදී කෙසේ වෙනස් වේවිද? දෙවන දිගහැරුමෙන් හමුවන තුරු රැඳී සිටින්න…
