ප්‍රේමය සියල්ල උසුලයි

Image courtesy:https://bit.ly/2Uwa7yO

ලෝකය පටන් ගත්ත දවසේ ඉදන් අවසානය දක්වා ම හුස්ම ගන්නේ එක ම එක බැඳීමක් හන්දායි. ඒ “ප්‍රේමය” නිසයි. එහෙම කිව්ව්ව පළියට අපිට මේ කියන ප්‍රේමය හමුවෙනවා ද? ප්‍රේමය කිව්ව සැණින් ම අපිට මතක් වෙන්නේ යෞවන ප්‍රේමය තමයි. නමුත් එතනට විතරක් ප්‍රේමය ලඝු කිරීම සාධාරණ නෑ. උදේ ඉර නැගුන වෙලේ ඉඳන් හවස ඉර ක්ෂිතිජයේ හැංගිලා යනකල් ම ප්‍රේමය අප වටා සැරිසරනවා. නමුත් ඒක අපට දැනෙන්නෙ නෑ. බස් එකට නැග්ග වයසක මනුස්සයෙක්ට සීට් එක ලබාදීමේ ඉඳන් පෙම්වතියගේ රෝස කම්මුල් රතු වෙන මොහොත දක්වා ම ප්‍රේමය අපට මුණ ගැහෙනවා. ඒ නිසා ප්‍රේමයට නිශ්චිත හැඩයක් නෑ. තවත් විදිහකට කිව්වොත් ප්‍රේමය බෙදලා වෙන් කරන්න මිනුම් රේඛාවක් නෑ.

මෙහෙම සරලව ප්‍රේමය ගැන මම කතා කළාට මේ ලෝකේ දියමන්තිවලටත් වඩා අඩුවෙන් ම තියෙන්නේ ප්‍රේමයයි. ප්‍රේමය සිල්ලර වෙන තරමට ම අපිට අගයක් නැති වෙනවා. ඒ නිසා ප්‍රේමය ගැන අපි එච්චර තැකීමක් කරන්නේ නෑ. හැමදාම අපි උදේ පාන්දර සීතලේ පොරෝනයේ ගුලි වෙලා නිදගනිද්දී අම්මා කුස්සියේ ඇහැරගෙන ගෙදර හැමෝටම බත් උයනවා. නමුත් කවදාවත් අපි අසීමාන්තිකව ආදරය බෙදන අම්මගේ අත් දෙක අල්ලලා, පිහි තලවලට කැපිලා තියෙන අවපැහැ ඇඟිලි තුඩු පිරිමැදලා තියෙනවා ද? උදේ ගිහින් රෑ වෙලා ගෙදර එන තාත්තගේ වෙහෙසකර මූණ දිහා බලලා ආදරෙයි කියලා තියෙනවා ද? ඒ වෙහෙසකර මුණට හාදුවක් දීලා තියෙනවා ද? සමහරක් අය මේවා කරනවා ඇති. ඒත් බොහෝ අය මේ දේවල් කරන්නේ නෑ. වේලාවකට අපි ඒක මදිපුංචිකමක් කියලා හිතනවා. ඒ නිසා ම ළඟින් ඉන්න අයට ආදරේ කරන්න අපිට අමතක වෙනවා; ඒ විතරක් නෙමෙයි අසීමාන්තිකව ආදරය කරන ඒ මිනිස්සුන්ව අපිට මඟහැරෙනවා. අපි හිතන්නේ අම්මලා,තාත්තලා මේ දේවල් කරන්නේ වගකීම් හැටියට කියලයි. නමුත් නිකමට හිතන්න ඒගොල්ලෝ මේ කැපකිරීම් නොකළා නම් අපිට මේ ගෙවන ජීවිතය ගත කරන්න පුළුවන් වෙයිද කියලා. අපි ඒ අයට පෙරළා ආදරය කළත් නොකළත් ඒගොල්ලෝ දිගින් දිගට ම අපිට ආදරය කරනවා. ඒ නිසයි කියන්නේ “ප්‍රේමය සියල්ල උසුලයි” කියලා.

මනුස්සයෙක්ට ජීවින තැනිතලාවේ ගමන් කරන්න වගේ ම එහි තැනින් තැන තියෙන ගිරිශිඛර නඟින්නත් සිදු වෙනවා. තැනිතලාවේ ගමන් කරද්දී වීරයෝ වගේ හැසිරුණාට කන්ද නඟිද්දී නම් අපි අසරණ වෙනවා; තනි වෙනවා. ඒ මොහොතේදී තමයි අපිට හිතෙන්නේ කන්ද මුදුනට යන්න අත්වැලක්, පහුරක් තිබ්බා නම් හොඳයි කියලා. ඒ හිඩැස පුරවන්න පුළුවන් ප්‍රේමයට විතරයි කියලා අපි එතකොට තේරුම් ගන්නවා. අන්න ඒ වේලාවට අපි ප්‍රේමය හොයමින් ඉබාගාතේ යන්න පටන් ගන්නවා. වෙනත් විදිහට කිව්වොත් කාලකණ්ණි වෙනවා. ඔව්! ඒක තමා හරි වචනය. මනුස්සයෙක්ට ප්‍රේමයක් නැති වුණොත් එතරම් ම අසරණ වෙනවා. එහෙම මිනිස්සු ජීවිතය අතාරිනවා. මිනිස්සු ජීවිතය අතාරින්නේ ප්‍රේමය එයාලගේ ජීවිතවලින් ගිලිහී ගියාමයි.

හැබැයි අපරිමිත ප්‍රේමයක් හම්බුණොත් ඒ ප්‍රශ්න සියල්ල විසඳෙනවා. විසඳුණේ නැතත් හිත සැනසිලා ප්‍රාර්ථනාමය ආලෝකයකින් හදවත පිරෙනවා. හදවත පිරුණම ජීවිතය අතාරින්න හිතෙන්නේ නෑ. අපිට ඒ පිරී ඉතිරී ගිය හදවත අනික් අය එක්ක බෙදා ගන්න හිතෙනවා.

මේ විදියට බැලුවම ජීවිතේ හැම තැනක ම ප්‍රේමය තැවරෙනවා. ඒ නිසා ම ප්‍රේමයට කරන්න බැරි දෙයක් මේ ලෝකේ ඉතිරි වෙන්නේ නෑ. අර කතාවට කියනවනේ කොච්චර තිබුණත් මදී කියලා. අන්න ඒ දේ ප්‍රේමයටත් අදාළයි. අපි හැම තිස්සේ ම පුරුදු වෙලා ඉන්නේ ලබා ගන්න මිසක් ලබා දෙන්න නෙමෙයි. ප්‍රේමයෙදීත් අපි බලන්නේ හැමෝගෙන් ම ගන්න මිසක් හැමෝටම දෙන්න නෙමෙයි. එහෙම නොදී කවදාවත් පෙරළා ප්‍රේමයක් ලබන්න බෑ. ඒ වගේ ම තමා අසීමිත ලෙස ප්‍රේමය බෙදුවත් ඇබින්දක්වත් ප්‍රේමය නොලැබෙන හදවත් තියෙනවා. ප්‍රේමය ආත්මාර්ථකාමී වෙන්නේ ඒ වගේ වේලාවට‍යි. ආත්මාර්ථය ඇතුලේ තියෙන්නේ අයිතිකර ගැනීම. කවුරුහරි ප්‍රේමය අයිති කරගත්තොත් එතනින් ප්‍රේමය වියැකෙනවා. ප්‍රේමය පවතින්නේ ම නිදහසේ., ලිහිල් ව. සුළඟක් වගේ අපේ ඇගේ ගෑවී නොගෑවි යනවා., අල්ලන්න බෑ. අල්ලන්න යන එකත් මෝඩකමක්. අපි මොනයම් ම දෙයකට ආදරය කරනවා නම් ඒකට කිසිම තහංචියක් නොදා බලන් ඉන්න ඕනේ. ඒක අපිට ලැබෙන්න නියමිත නම් අපේ ළඟට එනවා. එහෙම නැත්නම් ඈතට යනවා. ප්‍රේමය කියන්නේ ඒ තරම් මායමය දැලක්. අපි ඒකේ වෙළිලා ඉන්නේ. ආයේ ආයෙමත් කියනවා නම් ප්‍රේමය සියල්ල උසුලා ගෙනයි ඉන්නේ.

ප්‍රේමය නිසා දුක උපදියි කිව්වට අපි කවුරුත් ප්‍රේම නොකර ඉන්නව ද? ප්‍රේමයට බය වෙලා ජීවත් වෙනවා ද? නෑනේ. ප්‍රේමයෙන් පරදින්න පරදින්න නැවත නැවත ප්‍රේම කරනවා. ඇයි අපි එහෙම කරන්නේ ? මොකක් ද ඒකෙන් අපිට ලැබෙන්නේ? කොච්චර එපා කියලා අතෑරියත් ආයේ ටික දවසකින් ප්‍රේමයක ගැටෙනවා. හරියට චක්‍රයක් වගේ. නිමාවක් නෑ., සීමාවක් නෑ. ඒ මොකද අපි දන්නවා මේ ජිවින වෙහෙස නිවෙන්නේ ප්‍රේමයෙන් පමණයි කියලා.

ඉතින් ඒ තරම්ම බලවත් දෙයක් ඇයි අපි නිශ්ප්‍රයෝජන විදියට ඔහේ අතෑරලා දාන්නේ? ප්‍රේමයට පුළුවන් නම් අපේ ජීවිත වෙනස් කරන්න, අපි ඒ දේට ඉඩ දෙන්න ඕනේ.

මං මුලින් ම කිව්වා වගේ ප්‍රේමය නිසා තමා මේ ලෝකය පවතින්නේ. ප්‍රේමය නැති තැන ලෝකයක් හුස්ම ගන්නේ නෑ. ඕන ම රළු හිතක් පවා ප්‍රේමය ඉදිරියේ ළයාර්ද්‍ර වෙනවා. අපිට ජීවත් වෙන්න කිසිම බලාපොරොත්තුවක්, හැඟීමක් නැති වුණා ම කරන්න තියෙන්නේ එක ම එක දෙයක් විතරයි. ඒ ප්‍රේමය නිසා, ප්‍රේමය උදෙසා පවතින්නයි. එතකොට ප්‍රේමය විසින් සියල්ල උසුලා ගෙන ඉඳිවි.

Rtr. Sasantha Indrajith