You are currently viewing ඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්

ඩෙඞ් රෝසස් ඉන් ඈෂ්ඞ් ග්‍රේව්


Image courtesy: pinterest

“හැම මනුස්සයෙක්ට ම හෘදය සාක්ෂ්‍යක් තියෙනවා. මනුස්සයෙක්ගෙ මරණෙන් ඒක අවසන් වෙන්නෙ නෑ. ඒ මනුස්සයගේ ජීවිත කාලෙන් හරි අඩකට වඩා වියදම් වෙන්නෙ මේ කියන හෘදය සාක්ෂ්‍ය යහපත් ව තියාගන්න. ඒක හරියට ම කියනවා නම් කඩු පහරක් පපුවට කිඳා බැහලා ඉන්න වෙලාවක ඒ කඩුව කොච්චර මුවහත් ද කියලා කල්පනා කරනවා වගේ වැඩක්. මං කියන දේ මේ අවමංගල සභාවේ රැස් ව සිටින හෑම දෙනාට ම තේරුම් ගන්න පුළුවන් ඇති කියලා මං හිතනවා….”


ඇසි පියෙන් පිය ඇස වසා තෙත දුක බිංදුවක් දෑසග තවා බලා හුන් අත බලා සිටින්නී උත්තරා ය. ඇගේ ළමැද දැදිරි වී ඇවිළෙන නො පිරිහෙන ආදරය තව ස්වල්ප මොහොතකින් විසල් අහස අරා නැඟී සිටින දුම් බටයක් දිගේ අහසට නික්මෙනු ඇත. පසෙකින් ලතෝනි දෙන්නී රම්‍යා සමරදිවාකර ය. නො හැඬුම් හැඬුම් ශෝක වසඟයෙන් මත් ව ඈ තම පුතු සෙනේ නෙතඟින් වගුරවමින් විලාප මැද උත්තරාට සාප කරන්නී ය. දරු දුක් ගින්නකින් පිළිස්සි තුවාල ලබන්නී ය.
“ඕකි මගේ කොල්ලව මරාගත්තා. මුං ඔක්කොම එකතු වෙලා තමා මේවා මට හොරෙන් කළේ. මම හවසත් ගිහින් පුතාව බලලා එද්දි පුතා හොඳට හිටියා. උදේ පාන්දර ඩොක්ටර් කෝල් කරනවා පුතා නැති වුණා කියලා ”
ඈ අසලින් ම හිඳ සංයමයෙන් තම ශරීර චර්යාව හැඩගස්වාගෙන සිටින පිරිමි පෞරුෂය ගාමිණි සමරදිවාකර ය. වෘත්තියෙන් නීතීඥයෙකු වන ඔහු අද බහුභාණී නැත. එවෙනුවට ප්‍රිය බිරිඳ රම්‍යාව සනසවමින් ය. දරු දුක ඇට මිඳුළු මත කිඳා බැස හුන්නත් වෘත්තීය සඟයන් ඉදිරියේ හඬා වැටීම නො මනා ය. වෘත්තීය විසින් ගිලගත් පිය සෙනේ පුතු මරණයෙන්වත් ගොඩගත නො හේ.


ගෞරව බහුමානී සම්භාවනීය අමුත්තන් ද හිතමිතුරු සමාගම්වල යාවජීව සමාජිකයන් ද උතුර උතුරා ගලන නෑදෑ නො නෑදෑ පිරිස් මැදින් අවසන් ගමන් යාමට ගිහන්ස සූදානම් ය. දෑස් වසා මඳ සිනාවකින් පැමිණි සිටි සැමට භක්ති ප්‍රණාම සිදු කළ හෙතෙම දන්න අඳුනන කිහිපදෙනෙකුගේ ම කරමතින් උදුන වෙත ගාම්භීර ලාලිත්‍යෙන් ගමන් කළේ ය. හැඬුම් ඉහිළුම් අහස වසා පැතිරුණේ ය. ගිහන්ස ඉසිලූ අවසන් කැමැත්තට අනුව බහු ප්‍රචාරය වන කසුන් කල්හාරගේ රෑ අහසින් ගීතය පාළු සුසානයේ ප්‍රේම පුරාණය දක්වා සිසාරා විසර ගියේ ය. ඉනික්බිති ව අළු දුමාරය මුසු වූ කළු වළාවක් ඉකිළෑවේ ය.


“දැන් මෙහෙමනේ, ගිහන්ස තේරුම් ගන්න. ඔයාට ඕන විදියට තීරණ ගන්න නම් මොකටද මාව කසාද බැන්දේ? දැන් අපි දෙන්න ම එක්කෙනෙක්. ඔයාට බෑ කිසි ම වෙලාවක තනි තීරණ ගන්න. එහෙම ගන්නවා නම් මං ඉඳලා මොකටද?”
අත තුබූ ෆයිල් කවරයක් පෙන්වමින් උත්තරා ගිහන්සට ප්‍රශ්නයකින් දමා ගැසුවා ය. ඉනිබ්බේ ඔහුගේ දෑස් මතට පිළිපන් ව නිශ්ශබ්ද සශබ්දයක් ව හුන්නා ය.

“අපි කසාද බැන්ද හේතුව ඇයි මගෙන් අහන්නෙ? මට කිසි ම වෙලාවක කසාද බඳින්න ඕනකමක් තිබ්බෙ නෑ. ඔයයි බඳිමු කිව්වෙ?”
ගිහන්ස චිත්තාපර්ශ මුවින් පෙරළා ප්‍රශ්නයක් උත්තරාගේ දෑත් මත තබා ඈ අතැති ෆයිල් කවරය උදුරා ගැනීමේ මෙහෙයක නිරත වුයේ ය. එය ව්‍යර්ථ විය.
“එහෙනන් මොකටද මගෙන් ආදරෙයි ද ඇහුවෙ?”
ෆයිල් කවරයේ ගිහන්ස සමරදිවාකර’ ලෙස සඳහන් නම ලියා ඇති තීරුව වෙත තම දකුණත යවමින් උත්තරා ෆයිල් කවරය පිසදැම්මා ය. කිසිවක් සඟවන අටියෙන් ගිහන්ස ඈගේ මුහුණ දෙස බලා සංසුන් ව සිටියේ ය.
“ආදරෙයි ද කියලා අහපු පළියට කසාද බඳින්න ඕනෙ නෑනේ. කසාද නො බැඳත් ආදරය කරන්න පුළුවන්නෙ?” එකවර ම අකුණකින් දමා ගැසීමට තරම් ගිහන්සගේ ඒ සංවරත්වය රුදුරු විය.
“ඔව් සත්තු වගේ!” යි
කියමින් අතැති ෆයිල් කවරය ගිහන්සට දුන් උත්තරාල ගිහන්සව මඟ හරින්නට වෙහෙසුණා ය. මේ මොහොතේ ඔහුගේ මුහුණ දකින්නට අදිමදි කළාක් මෙන් පසෙකට වන්නට විය.
“ඔව්. මිනිස්සුත් සත්තු තමයි. වෙනසකට තියෙන්නෙ සත්තුන්ට හර්ද සාක්කියක් නෑ. ඒත් මිනිස්සුන්ට තියෙනවා.”


තව දුරටත් ගිහන්සගේ විවාදාභිමුඛ වදන් හමුවේ උත්තරා දුර්මුඛ වුවා ය.
දෙදෙනෙක් සතු ව රහස් පවතින්නේ නම් එතන ආදරය උපදින්නේ ය. විශ්වාසයේ පහන් ආලෝකයෙන් දෙදෙනා ම දිලිසෙන්නේ ය. කිසි ම මොහොතක අත් නො හරින බව එහි හැඟවුම්කාරයයි. තමාට අහිමි ඒ හැඟවුම්කාරය පිළිබඳ නීතිමය බැඳීමක් ඉදිරිපිට සිට උත්තරා ප්‍රශ්න කරන්නී ය. එය දැන දැනත් ගිහන්ස උත්තරාව ප්‍රතික්ශේප කර ස්වයංවාරණය ගැලී හිඳීම පළක් නො වන බව තීරණය කළේ ඩොක්ටර් ලියනගේ සමග හමුවෙන් පසු ව ය.
“ඇත්ත ම කාරණය මේකයි ගිහන්ස. ලියුකේමියාවල අන්තිම ස්ටේජ් එකේ ඔයා ඉන්නේ. මෙච්චර කාලයක් ඔයා කිසි ම ට්‍රීට්මන්ට් එකකට ආවෙත් නෑනේ. අපිට; මට ඔයා වෙනුවෙන් දැන් කරන්න තියෙන්නෙ බොහෝ ම පොඩි දේවල් ටිකක්. මං සතුටු වෙනවා ඔයා මේ මොහොතේ හරි ට්‍රීට්මන්ට්වලට ආපු එක ගැන.”


අතිශය පෞද්ගලික හමුවක් වූ එහි රෝගී අඳෝනාවක් නො වීය. කෙදිනක හෝ මිය යා යුතු බව අමතක කර ජීවත්වන ගිනිකූරු හිසැති මිනිසුන් අතර මැද මරණයේ නියමිත කාලවකවානු දැන ජීවත්වීමේ කාලටසහනකට තමා යුහුසුළු විය යුතු බව ගිහන්ස තේරුම් ගත්තේ ය.
“එතකොට ගිහන්ස, ගෙදර අය මේ ගැන දන්නවද? ඇයි ඔයා ට්‍රීට්මන්ට්වලට ආවේ නැත්තේ? සාමාන්‍යෙන් වෙන පේශන් කෙනෙක් නම් තමන්ට කැන්සර් එකක් කියලා දැන ගත්ත ම හැසිරෙන විදිහයි ඔයා හැසිරෙන විදිහයි සම්පූර්ණයෙන් වෙනස්.”
“වැඩක් නෑ ඩොක්ටර්. මේක හොඳ කරන්න බැරි ම මොහොතක දි නෙ කැන්සර් එකක් කියලා අඳුරගත්තේ. ඉතින් මොකට ද මං තනියම විඳින්න ඕන දුකක් පවුලේ අනිත් අයට දීලා ඒගොල්ලොන්වත් මේකේ පටලන්නෙ. ඒ මිනිස්සු මාව දකින වාරයක් වාරයක් ගානේ කඩා වැටෙනවා දකින්න මට වුවමනාවක් නෑ.”
“අඩු ම තරමේ වයිෆ්ටවත්?” ඩොක්ටර් ලියනගේ හරස් ප්‍රශ්නයක් ඇසුවේ ය.
“එයාට මං කියන්න ඉන්නෙ. එයාගෙන් තමා මට විඳවන්නෙ නැතුව මැරෙන්න ක්‍රමයක් හොයා ගන්න පුළුවන් එක ම කෙනා.”


උත්තරා කියවා තිබුණේ ගිහන්සගේ වෛද්‍ය වාර්තාවයි. ඈ තුනුසිරින් මළානික ව සෝෆාවේ දකුණු කෙළවරට වී මන්දස්මිතයෙන් හිඳගෙන සිටින්නී ය. ගිහන්සව දුරින් දුරට බොඳ රූපයක් වන තරම් මහා කඳුළක් උත්තරාගේ නේත්‍රා දුන්හිඳේ කඩා වටෙන්න ඔන්න මෙන්න ය. එය බලා ඉනු බැරි ම තැන දී ගිහන්ස පැමිණ සෝෆාවේ වම් කෙළවරින් ඈ අසලින් හිඳ ගත්තේ ය. කාංචනමය හඬකින් ඈව සංතර්පනය කළේ ය.
“උත්තරා, අයිම් සොරි. ඇත්ත. මං වැරදියි තමයි. මං මුල ඉඳන් ම මේක හැංගුවේ හේතුවක් ඇතිව. ඒ හැම දේම ඔයාට කියන්න බෑ.”
“ඇයි ඔයාට මට හැම දේම කියන්න බැරි? මම ඔයාගේ කසාද ගෑනි. ඔයාට මේ ලෝකෙ ඕන ම දෙයක් කියන්න පුළුවන් කෙනා මම. කෝ ලව් කරන කාලේ හිටිය ගිහන්ස? ඔයා මටත් හැංගුවා. මොකක් ද මේකේ තේරුම? ඔයාට නො කියා ඉන්න තරම් මොකක්ද ඔච්චර තිබ්බ අවිශ්වාසෙ? අපි දෙන්නා කොහොම ද මෙහෙම එක වහලක් යට ඉන්නෙ? ඔයා පොඞ්ඩක්වත් හිතුව ද මේ මං ගැන. ඔයා හරි සෙල්ෆිශ් ගිහන්ස.”


උත්තරා දීර්ඝ සුසුමකින් පෙණහලු පුරවා ගත්තා ය. නැවත ශෝකී ස්වරය නින්නාද කළා ය.
ර්‍ණඔයා හිතුවෙ රටට ලෝකෙට වහන් වෙලා මැරිලා යන්නද? එහෙම කරන්න වුවමනාවක් තිබ්බා නම් ඇයි මට ඒක කිව්වෙ නැත්තෙ? ඔයා ඔහොම ඉඳලා මැරිල ගියා ම රටේ ලෝකෙ මිනිස්සු බනින්නෙ මට. ඔයාගේ අම්මලා තාත්තලා මට මොනවා නො කියයිද? එතකොට මට මොකද වෙන්නෙ? ඔයාට මතක් වුණේ නැද්ද ඒවා ගැන?”
කාන්තා විමුක්තිකාමිනියක මෙන් හැසී සිටින උත්තරාගේ ප්‍රශ්න සමුදායක ගිහන්ස නිමග්න ව එතී වෙළුණේ ය. සියල් ප්‍රශන්වලට පිළිතුරු දිය යුතු වුවත් මේ ඒ මොහොත නො වන බව ඔහු පසක් කරමින් බියපත් ව පැන නැඟ නැඟ එන සිතුවිලි සිතේ ම හකුළා ගත්තේ ය. දයාර්ද්‍ර ස්වරකින් මන්ද්‍ර ලයක් මුසු ව නැවතත් කටහඬ අවදි කළේ ය.
“මං ඔයාට හැම දේම කියන්න හිටියේ. ඒත් ඔයා ඉක්මන් වුණා. දැන් කමක් නෑ. වුණ දේ වුණා. ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැනයි මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ.”
ගෙතුළ තුළිඕම්’ කාරයක් ජනිත විය. මුනිවර අසපුවක් මෙන් එක ම සිතුවිල්ලක දෙදෙනා ම සමවැදී ඇසට ඇස තියා බලා සිටියහ. අනිමිසලෝචනයේ තීව්‍රතාව උත්තරා බින්දා ය.
“මොකක් ද ඒ?”
“මට ඔයාගෙ අතින් මැරෙන්න ඕනේ!”
“මොකක්? ඔයාට පිස්සුද? මේ මොන විකාරයක් ද? මට පුළුවන්ද මිනිහෙක් ව මරන්න? වෙන කවුරුවත් ව නෙමෙයිල මං මේ පණ වගේ ආදරය කරපු ඔයාව?”
“ඔව්! ඔයාට විතරයි මාව මරන්න පුළුවන්. මං දන්නවා මේක කීයටවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් කියලා. ඒත් ඒක කරන්න ඕනෙ ඔයා”
“මොනාද මනුස්සයෝ මේ කියන විකාර කතා. මං කොයි ම වෙලාවකවත් ඒ වගේ දෙයක් කරන්නෙ නෑ. මට ඕනෙ අන්තිම මොහොතෙ හරි ඔයා ළඟට වෙලා ඉන්න. ඔයාගෙ ඔය ගැහෙන පපුව උඩ කන තියාගෙන අහන් ඉන්න. ඒ හින්දා ප්ලීස්. ඔය වගේ දේවල් නො කියා ලෑස්ති වෙන්න ඉක්මනට අපි ස්පෙශලිස්ට් කෙනෙක් චැනල් කරමු මේකට”
තමා කියූ දේ උත්තරාට නො වැටහුණු බැවින් ගිහන්ස ඇගේ වම් අත උඩින් තම දකුණු අත තබා ආදර තෙරපීමකින් බැදුණේ ය.
“තේරුම් ගන්න! මං ඉක්මනට මැරුණොත් තමයි ඔයාට වෙන කසාදයක් කරගෙන හරි ජිවිතේ ඉතුරු කාලෙ සතුටින් ඉන්න පුළුවන්. මං කොහොමත් මැරෙන්න ඉන්න කෙනෙක්. ඒත් ඔයා එහෙම නෑ. මං නිසා ඔයා දුක් විඳින්න ඕනෙ නෑ. ඒ නිසා මං කියන දේ විතරක් අහන්න. මං ඩොකටර් ලියනගේ එක්ක හැමදේම කතා කරලා තියෙන්නෙ. ඔයාට බය වෙන්න දෙයක් නෑ.”


උත්තරා බිඳී විසිරිණ.
“කොහොමත් උපරිම සති දෙකක් තුනක් වෙද්දි මං ඇඳට වැටෙනවා. දැනටමත් මම ගොඩක් කෙට්ටු වෙලා. මගේ ඇඟ ම සුදු මැලි වෙලා. මට තේරෙනවා මගේ පපුවෙන් අමුතු සද්දයක් එනවා කියලා. ඒ ඔක්කොම මං තව විඳින්නෙ ටික දවසයි කියලා හිතෙද්දි හිතට සහනයක්. මෙ හැම දේම ඔයාගෙ නමට ලියලා තියෙන්නෙ. මගේ බිස්නස් එකයි මේ ගේයි ඉඩමයි ඔක්කොම. ඔයාට බය වෙන්න කිසි ම දෙයක් නෑ. මං නැති වුණා කියලා ඔයාගේ ජීවිතේ නවතින්න කිසි ම ඉඩක් නෑ.”


උත්තරාගේ ජීවිත අරණේ අනන්තාපරිමාණ ප්‍රේමයක පිරිමි ජීවිතාත්ම සුවඳක් ඉසීරී විසීරී හැසිරී ගියේ ගිහන්සගේ උණුසුමින් ය. ඒ උණුසුම ම ගිනියම් ව කැකෑරී හද දවන දේවදත්ත සාපයක් බඳු ව පිබිඳ එනු ඇතැයි ඈ රෑ සිහිනෙකින්වත් නො සිතුවා ය. නල මුදු සුවඳක් විඳ විඳ කනට කොඳුරා රහස් මිමුණූ පෙම්බරා විවාහ වී මාස කිහිපයක් යන්නටත් මත්තෙන් ඔහුගේ මරණයේ පෙර සුදානම කියද්දි ඈ සොහොන් බිමක් මෙන් නිහඬතාවක ගැලුණා ය.
“අනේ දෙයියනේ! මට මේ මුකුත් තේරෙන්නෙ නෑ. මං කොහොමද ඔයාව මරන්නෙ. එහෙම හිතුවිල්ලක් වත් මට එන්නෙ කොහොමද? මං මගේ මිනිහව මරාගන්න තරම් කාලකණ්ණී ගෑනියෙක් වෙන්නෙ කොහොමද? හැම ගෑනි ම බලන්නෙ දවසක් හරි තමන්ගෙ මනුස්සයා එක්ක සතුටින් ඉන්න. ඒත් මට ඒ පිනත් නෑ.”


උත්තරා සියුම් ව ගිහන්සට නතු වුවත් සඟවා සිටින නො කිළිටි ආදරයේ පැහැදිලි බව දක්වාලූවා ය. ප්‍රේම පූජාසනයේ තිබූ රෝස කටුවක් ඇනී වේදනාවෙන් වෑහුණා ය. සසැලෙන සිතින් යුතු ව ඇය අවසානයේ කඳුළු පිරුණු දෑසින් ගිහන්සගෙ අත තම පපුවෙහි රුවා ගත්තා ය.
“මේ ලෝකේ මං තාත්තට පස්සෙ වැඩියෙන් ම ආදරය කරපු කෙනා ඔයා. ඔයත් ඒක දන්නවා. ඒ හින්දා මම ඔයාට අවනතයි කියලත් ඔයා දන්නවා. හැබැයි එක දෙයක්. මේ හැම දේම ඔයාගෙ අම්මයි තාත්තයි දැන ගන්න ඕනෙ. කොහොමත් මට නම් මේ දේවල් හංගං ඉන්නත් බෑ. ඔයා කියන විදියට කරන්නත් බෑ”
“අම්මට කියන්න ඕනෙ නෑ. මං තාත්තට අද හවස එන්න කියලා කෝල් එකක් දෙන්නම්ග තාත්තා උසාවි ගිහින් එහෙම් ම අපේ ගෙදර එයි. ඔයා කලබල වෙන්න එපා. ඒ වෙලාවට මේක ගැන අපි කතා කරමු”
ගිහන්ස උත්තරාගෙ නළලෙහි හාදුවක් තබා ඇගේ ඇස් වැසුවේ ය.
“එතකොට තාත්තේ මේක අපි තුන්දෙනා අතර විතරක් තියෙන රහසක්. දන්නවනේ අම්මගෙ හැටි. ඒ නිසා අම්මට කොයි ම වෙලාවකවත් දැන ගන්න තියන්න එපා. අනෙක් කාරණාව තමයි උත්තරාට මගේ මරණෙන් පස්සෙ කිසි ම විදිහක හිංසාවක් පීඩාවක් වෙන්න බෑ. මේක මගේ තනි තීරණයක්.”


මෙතෙක් වේලා තම පුතු පවසන කතාව සූක්ෂ්ම සිතුවිලිවලින් විශ්ලේෂණය කරගත් ගාමිණී සමරදිවාකර සෝපාහාසාත්මක බැල්මකින් ගිහන්සගේත් උත්තරාගේත් මුහුණු දෙස බැලුවේ ය. දෙබැම උස්සා නළල රැලි කර අවුල් හිසකේ පිළිවෙළ කර කතාව ඇරඹුවේ ය.
“මේ අහපන්, උඹ හිතන් ඉන්නෙ උඹේ තාත්තා උසාවියේ නඩු කතා කරපු පළියට කිසි ම අණක් ගුණක් නැති කුම්මැහි මිනිහෙක් කියල ද? උඹට මොන හයියක් ද උඹ මැරෙන විදිහ ඔහොම තීරණය කරන්න තරම්. ඒ තීරණය කරලා තමන්ගෙ තාත්තට ම කියන්න තරම්? අනික උත්තරා, ඔයාට පුළුවන් ද මෙයා කියන දේවල් කරන්න?”
ගාමිණී කෝපය මුසු තීක්ෂ්ණාක්ෂිය උත්තරා දෙස යොමා පැහැදිලි උස් ස්වරයෙන් ඇසුවේ ය.
“මං කිසි ම වෙලාවක මේ දේට කැමති නෑ. මට පිස්සු නෑ මේ වගේ නරුම විදියට හැසිරෙන්න. මං කියන්නේ මෙයාට දැන් වුණත් බෙහෙත් ගන්න යමුයි කියලා. මෙයා තමයි මඟ අරින්නෙ. මාව අසරණ වෙනවා මෙයාගෙ මේ වැඩ නිසා”
උත්තරා වෙව්ලන ස්වරයෙන් කැඬී නො කැඬී වචන අමුණන්නට වෙහෙසුණා ය.
“අහ් දැක්කනේ. උත්තරාත් කැමති නෑ. තව එකක් දැන ගනින්ග උඹ මේ කරන වැඩෙන් ආමාරුවෙ වැටෙන්නෙ උඹ නෙමෙයි. ඩොක්ටර් ලියනගේ.”
ගාමිණි ගිහන්සට තම දකුණතේ දබරගිල්ල දිගු කර ගුගුළේ ය. පසුව මත්පැන් සැන්ඩි කිරීම සඳහා සෝඩා බෝතලයෙහි පියන ඉවත් කළේ ය.
“නෑ. එයාව මං අමාරුවේ නො වැටෙන්නයි මේ දේවල් මෙහෙම කරන්නෙ. කවුරු හරි මගේ මරණය වෙනුවෙන් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න හැදුවොත් ඒ උත්තරාල නැත්නම් අම්මයි තාත්තයි. උත්තරා නම් කිසි ම වෙලාවක ඒ වගේ දෙයක් කරයි කියල හිතන්න අමාරුයි. ඒකයි මං තාත්තට මේ දේ ගැන කලින් ම කියන්න තීරණය කළේ.”


මේසය මතා තබා තිබූ මත්පැන් ගාමිණිගේ ශරීරය පුරා සැරිරන්නට පටන් ගත් හෙයින් උද්වේගකාරී සප්‍රමාණ තර්ක ක්‍රමයක් ආරූඪ වී ගිහන්ස ඉදිරියේ ගොඩනඟන්නට පටන් ගැනුණි. සුලබ වෘත්තීය හැසිරීමෙන් නො මසුරු වූ ඔහු පුතු ඉදිරියේ දැවැන්ත පියා බවට පත් විය.
“මොකක්ද ඒ කියන්නෙ? උඹ කියන්නෙ උඹ මැරෙන විදිහ මම කලින් දැනගෙන ඉඳලත් මුකුත් නො කර ඉන්න ඕනෙ? මේවා මිනිස්සු දැන ගත්තොත් මේ කෝට් බෑය ගලවලා මට හිඟා කන්න වෙන්නෙ. උඹ දැනගනින් මේ කතා කරන්නෙ කාත් එක්ක ද කියලා. මං උඹේ තාත්තා. උඹට බෑ මට අණ කරන්න. උඹ කොහොමද එහෙම කරන්නෙ? උඹට කොහෙන්ද එච්චර හයියක්?”


කරුණු වශයෙන් තර්ක කිරීමට පියා සමග නුපුළුවනැයි පසක් වූ පසු ගිහන්ස හේබා ගියේ ය. උත්තරා කිසිවක් නො කියා කඳුළු පිරි බරෑරුම් දෑසින් ගිහන්ස දෙස බැලුවා ය. කරන්නට කිසිවක් ම නො වූ තැන ගිහන්ස පෙර පැවැති ආඪ්‍ය බවින් මිදීල මුදා හරින්නට බියෙනැළෙලෙමින් හුන් අවසන් තුරුම්පුව පියාට සම්මුඛ ව තැබුවේ ය.
“හරි. එතකොට තාත්තා කැමති තාත්තගෙ පුතා මාස ගාණක් ඇදට වෙලා කිසි ම දෙයක් දන්නෙ නැතුව ඔහේ මැශින් එකකට වෙලා ඉන්නවා දකින්නද? ඒක බලන්නද ආස? මට ජීවත් වෙන්නෙ තව තියෙන්නෙ ටික කාලයයි. ටිකක් තේරුම් ගන්න. ලෝයර් කෙනෙක් වගේ නැතුව මගේ තාත්තා කියලා හිතලා මට උත්තරයක් දෙන්න.”
ගාමිණී අවසන් සැන්ඩි කිහිපය අශෝක වීදුරුවට වත් කළේ ය.
“මට මේ කාරණේදී උඹේ තාත්තා වෙන්න බෑ. මං ඇස් වහගෙන ඉන්න නීතී දෙවඟනගේ පුත්තරයෙක් වෙන්නම්!”
ගාමිණී එක හුස්මින් සියල්ල අවශෝෂණය කර අවසන් කළේ ය. උත්තරා හුන් අස්නෙන් නැගිට ගෙතුළට ගියා ය. ගිහන්ස ඈ යන දෙස බලා සුසුමක් හෙළුවේ ය.


එකට සිටිය හැකි යැයි දෙදෙනා ම නිතර සිතූ සදා කාලය එතරම් ම දීර්ඝ වූයේ නැත. නො කල් නො වේලා පැන නැඟුනු මහා වැස්සකට හසු වූ උත්තරාගෙත් ගිහන්සගේත් ජීවිත තෙතබරිත වීය. ගිහන්සට දැල්වීමට නියමිත කාලය අවසන් වන බව ශරීර ලකුණුවලින් දන්වන්නට විය. ඔහුගේ ශරීර වර්ණය ළා පෑ වන්නට පටන් ගත්තේ ය. ශරීරයේ රතු රුහිරු හිඟතාව ඔහුගේ මරණය උදෙසා කැපවී සිටියේ ය. ඇස් ගිලී ඇස්වටා කළු වළලු මතු ව ආවේ ය. නො හඟවා සිටිය හැකි තරමට ශරීරයෙහි ඇටකටු පෙනෙන්නට විය. උත්තරා වෙනුවෙන් අප්‍රමාණ ආදර බරක් දරා සිටින හෘදය පමණක් සම් වැස්මට වැසී ඇත. ඔහු ඇවිදීම අතැර දැම්මේ ය. දුක්ඛප්‍රාප්ත ක්‍රියාවක පියවර අනුගමනය කරමින් මරණ මංචකය සඳහා ඇප කැප විය. සයනගත වූ ඔහු යළි ආහාර ඉල්ලුවේ නැත. උත්තරා දියරමය ආහාර ගෙන ගිලානෝපස්ථානයට පේවී සිටියා ය.


“උත්තරා, මාව ඉක්මනට මැරෙයි නේද? මං ගැන වද වෙන්න එපා. ඔයා සතුටින් ඉන්න.”
සයනේ උඩුබැලිව වැතිර සිටින ගිහන්ස මඳක් දකුණට මුව හරවා ඔහු අසලින් ම සිටි උත්තරාගෙන් ඇසුවේ ය. ඔහුගේ වචන උච්චාරණය අපැහැදිලි වුවත් කියූ දේ උත්තරා තේරුම් ගත්තා ය.
“අනේ බබා අපි හොස්පිට්ල් යමු. ඔයාව මට ඕනේ. ප්ලීස්.. මං කියන දේ අහලා යමු. ඔයාට මෙහෙම වෙන්න දෙන්න බෑ මට.”
ගිහන්සගේ මුහුණේ අඳි ඇති ශෝකී රේඛා දෑතින් මකා උත්තරා බැහැපත් ව ඔහු වෙතට ළං වූවා ය.
“ඕනෙ නෑ. ගෙදර හොඳයි.”
සෙමින් පිළිතුරු දුන් ගිහන්ස නැවත් මුහුණ හරවා ගත්තේ ය. කඳුළු ලප කිහිපයක් උත්තරාගේ කොපුලත තැවරිණි. ගිහන්සගේ සුවඳට කාමරය පුරා හමායන්නට ඈ ඉඩ දුන්නා ය.
නිවසේ හිඳ අවසන් සුසුම් පොද හෙළීමට නැකැත් බලා සිටි ගිහන්සට අනපේක්ෂිත ව රම්‍යා සමරදිවාකර හරස් වූවා ය. පුතුගේ අවසන් කැමැත්ත නො දත් ඈ වියරු වැටුණු කොටි දෙනක මෙන් පුතු ව දිවයිනේ පතළ පෞද්ගලික රෝහලකට ගෙන ගියා ය.
“උඹට පිස්සු ද ගෑනියේ මගේ කොල්ලව මෙහෙම ගෙදර තියාගෙන ඉන්න. මට කිව්වෙ නැත්තෙ ඇයි? උඹ ගැන මං පස්සෙ බලා ගන්නම්. ඉස්සෙල්ලා ම කොල්ලව හොඳ කරගෙන ඉන්නකන් ඉඳපන්කො”
රම්‍යා සමරදිවාකරගේ යෝධ හෙවණැල්ලෙන් උත්තරා වැසී ගියා ය. ඇගේ ජීවිතයේ අඳුරු ම කාලය උදා විණි යැයි උත්තරා සිතුවා ය. රම්‍යාගේ තාණ්ඩවත්වය ඉදිරියේ ගාමිණීත් කුඩා සෙල්මය ප්‍රාණියෙක් විය.
“ගාමිණි, ඇයි ඔයාවත් මේක ගැන දන්නෙ නැද්ද? මොනාද මේ නටන ජවුසන්. ඔයාගෙ ළමයගෙ ජීවිතේ ඔයාට වටින්නෙ නැද්ද? අපි පොඩි කාලේ ඉඳන් ගිහන්සව ඇහැක් වගේ බලා ගත්තේ මෙහෙම ඉබා ගාතේ මැරිලා යන්න දෙන්නද?”
“රම්‍යා කලබල වෙන්න එපා. ඩොක්ටර්ස්ලා කියන දේ විතරක් කරන්න. මේ වගේ වෙලාවට මොළෙන් වැඩ කරන්න ඕනෙ.”
ගාමිණී වැඩි යමක් කීවේ නැත. නාමමාත්‍රික ව පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් යැයි සිතුවේ ය.


රෝහල එක ම කාලගෝට්ටියකි. රම්‍යාගේ ප්‍රචණ්ඩත්වයේ කෙළවර ඈවත් නො දත්තා ය. රම්‍යා සියලු දෙනාට බෙණෙමින් එතැන් පටන් ගිහන්සගේ සම්පූර්ණ අනාගතය වෙත මැදිහත්වීමට කටයුතු කළා ය. ගිහන්ස සමග රෝහලේ නැවතීමට ඈ තීරණය කළා ය. නමුත් මුරණ්ඩුකාර ගිහන්ස එයට ඉඩ දුන්නේ නැත.
“අම්මෙ! මේ මොනවා කරත් වැඩක් නෑ. දැන් මං මැරෙන්න ළඟයි. උත්තරා මගේ ළඟ ඉන්නවාග මං අම්මට ආදරෙයි!”
ඉතා අපහසුවෙන් අමුණ අමුණා ගිහන්ස කතා කරද්දි කුණු කෙළ බිඳිති කට දෙපැත්තෙන් වෑහෙයි. උත්තරා හනි හනික නැප්කිනයකින් පිසදමයි. රම්‍යා සමරදිවාකරට ඉහිළුම් නො දෙන තරම් දරු දුකකින් ගිහන්ස ඉදිරියේ හඬා වැටුණා ය.
“අනේ මගේ රත්තරනේ! මං ඇස් දෙක වගේ පොඩිකාලේ ඉඳන් බලා ගත්තේ උඹව මෙහෙම ලෙඩ ඇදක දකින්නද? මගේ ඇස් පියවෙන්න කලින් මගේ බඩෙන් වදාපු කොල්ලා මැරෙනවා දකින්න මට සිද්ද වෙලානෙ. මම කොහොමද මේ දුක දරා ගන්නෙ? උඹ කොච්චර ලොකු වුණත් මට මගේ පුතා. ඇයි පුතේ මට මුකුත් නො කිව්වෙ?”
මව් දෙසට මුහුණ හැර වූ ගිහන්ස කිසිවක් කීවේ නැත. කඳුළු දෝවනයක තෙතමනයකින් යහනත
පෙඟී යන බව පමණක් ඔහුට හැඟිණ.
“මං ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම් පුතේ. පුතා නිදා ගන්න.”
රම්‍යා සමරදිවාකර උත්තරාව මායිම් නො කර ඩොකටර් ලියනගේ හමුවීමට ගියා ය. ඇගේ ගමන් තාලයේ වෛරයේ ගිනි පුපුරු විසිරිණ.
“අනේ ඩොක්ටර්ල මගේ පුතාට කොහොම ද දැන්? එයාට සනීප වෙයි නේද? කිසි කරදරයක් වෙන්නෙ නැති වෙයි නේද?”
“හරියට ම කියන්න අමාරුයි මිසිස් සමරදිවාකර. අපිට කරන්න පුළුවන් හැමදේ ම කරනවා. බය වෙන්න එපා. එයාගෙ වයිෆ් ළඟ ඉන්නවනේ. කිසි ප්‍රශ්නයක් නැතිවෙයි.”

“අනේ ඔය හැතිරි මගේ පුතාව දැලේ දාගෙන මගේ පුතාගේ මුළු ජීවිතේ ම විනාස කළා. ඒකි දැනගෙන සද්ද නො කර ඉන්න ඇති මගේ කොල්ලව මරාගන්න ඕනකමට. නැත්තන් කොයි ගෑනි ද මෙහෙම හැසිරෙන්නෙ? උණ කැස්ස නිතර නිතර හැදෙනකොට පොඞ්ඩක් බලන්න තිබුණාග මගේ පුතාගෙ සල්ලිවලට තන්හාසෙ ඕකිට. වෙන මුකුත් නෙමෙයි. මිනිහව මරාගෙන මුළු බූදලේ ම අයිති කරගන්න වෙන්න ඇති කල්පනාව.”
රම්‍යා සමරදිවාකර ඩොක්ටර් ලියනගේ සමග උත්තරාට බැණ වදින්නී ය.
“එතකොට ඩොකටර් කියන්නේ මේක කවුරුත් දැනගෙන ඉඳලා නෑ කියලද? එහෙම වෙන්න බෑනේ ඩොක්ටර්. ඩොක්ටර්ස්ලා චෙක් කරලා බලන්න එපැයි. ලෙඬේ අඳුරගන්න කොච්චර ක්‍රම තියෙනවද? ලංකාවෙ නැති වුණත් පිටරටවල්වල හරි. අපිට දරුවො කියලා මහ ගොඩක් නෑනේ. ඉන්නෙ එකයි. අපි එහෙම නම් මොන දේ කරලා හරි මොන රටකට එක්කන් ගිහින් හරි ලෙඬේ හොඳ කර ගන්න බලනවානේ”


රම්‍යා ඩොක්ටර් ලියනගේගේ ඉවසීම පරීක්ෂා කිරීමට වචන යෙදුවා වැන්න. කිසිත් නො කියා මඳ සිනාවකින් සංග්‍රහ කළ ඩොක්ටර් ලියනගේ ඈගේ මව්වත්කම තේරුම් ගත්තේ ය. කිසාගෝතමිය අබැටක් සොයා ගම් නියම්ගම් ඇවිද්දා සේ රම්‍යා සමරදිවාකර ද තම පුතු වෙනුවෙන් මහ මුහුදින් එහා රටකට හෝ ගොස් අබැටක් සොයා යෑමේ වීර්යයෙන් පසු වූවා ය.
නැවත නිවසට යන්න මත්තෙන් නැවතත් පුතු හොවා සිටින යහන අසලට ඈ පැමිණියා ය. ගිහන්ස ඔක්සිජන් හුස්ම ආශ්වාස ප්‍රශ්වාස කරමින් නින්දත් නො නින්දත් අතර ය. සිහිමඳ සලකුණු ය. දෑත් දෙපා නිසොල්මන් ය. හදවතට පණ පොවන යන්ත්‍රයේ ටීක් නාදය පමණක් පන්සිළු සිටින කාමරය පුරා ශබ්දයක් ව ඇත්තේ ය. ඈ පුතුගේ හිස අත ගා ‘මං ගිහින් හෙට උදේම එන්නම් පුතේ’ යි කීවා ය. අනතුරු ව ඇඳ අසල දුරකතනයේ ගැලී හුන් උත්තරා දෙස බලා ඇස් තියුණු කළා ය.


“උඹ දැන ගනින්. උඹ නිසා තමයි අද මගේ පුතා මෙහෙම ඇදක වැටිලා ඉන්නෙ. උඹට ඕන වුණෙත් මේක කරගන්න නෙ. දැන් සාන්තිය ලැබිලා ඇති. මං මේක ලේසියෙන් අතාරින්නෙ නෑ. බලමු කවුද දිනන්නෙ කියලා. වදාපු අම්ම ද නැත්නම් පස්සෙ කොහෙන්වත් ආපු එකියක් ද කියලා”
උත්තරා, රම්‍යා සමරදිවාකර යනතුරු කිසිවක් නො කියා මුවින් නො බැන සිතින් මනෝ සමාගමයක නිරත ව හුන්නා ය. දුක්මුසු අර්ථචර්යාවකට ඉකිබිඳ ස්වප්නයකට බිය වූ ළදැරියක් සේ විගසින් ගිහන්ස අසලට ගියා ය.
“අනේ රත්තරං! ඔයා වෙනුවෙන් මේ හැම දෙයක් ම ඉවසන්නම්. ඊළඟ ආත්මෙදිවත් මට මේ වගේ දුකක් දෙන්න එපා” ඈ ඔහුට මිමිණුවා ය.
සිහිමඳ ගතියෙන් ඔත්පළ ව හුන් ගිහන්සගේ දකුණැසඟින් කඳුළු බිංදුවක් දිලිසිණ.

ගිහන්සව රෝහල්ගත කළ සෑම දිනක ම ඔහු බලන්නට පැමිණි රම්‍යා සමරදිවාකර උත්තරා සමග බහින්බස්වීමට පෙළඹෙන්නී ය. දෙමාපියන් අහිමි අනාත කෙල්ලක හා තම පුතු විවාහප්‍රාප්තවීම ඈට මදිකමක් වූවා ය. විවාහයෙන් පසු කල් යත් යත් ම රම්‍යාගේ අශිෂ්ට ශික්ෂණය උත්තරාට දරුණු මානසික හිංසනයක් ම විය. එනිසා ම ගිහන්සගෙ තීරණය මත ගිහන්සත් උත්තරාත් මහගෙදරින් වෙන් ව ජීවත් වීම රම්‍යා සමරදිවාකරට නුරුස්නාසුළු වූවා ය. ගිහන්සගේ ඒකඡත්‍ර තීරණයන්ගෙන් වැඩිවශයෙන් දුක්විඳින්නේ ඔහුට ආදරය කරන්නනෝ ය.


දිවා රෑ ඇසිල්ලකින්වත් මඟ නො හැර උත්තරා ගිහන්සගේ රෝගී ඇඳ අසල ම සිටීම ඉෂ්ටාර්ථය කර ගත්තා ය. ඈ ස්වාමියාගේ සුසුම් කැරල්ලේ වේදනාවන් නිරුත්තරව බලා සිටියා ය. විටින් විට පැමිණ රෝගී පරීක්ෂාවන් සිදු කරන ඩොකටර් ලියනගේගෙන් ගිහන්සගේ තතු විමසුවා ය. හෙදියන්ගෙන් ඩොකටර් ලියනගේ කියනවාට වඩා යමක් දැන ගැනීමට තැත් කළා ය. කිසි ලෙසකින්වත් විශ්වාස නො කළ යථාර්ථයක් දෑස් ඉදිරිපිට ම මැවී ඇති බව වටහා ගත්තා ය. එබැවින් ම ඈ නිසසල දෙනෙතින් ශෝකය තුරුලු කර ගිහන්සගේ හුස්ම රැක දෙවන්නට දන්න නො දන්න දෙවියන් යැද්දා ය. පතිවෘතාව ඇපයට තමා සෙත් ප්‍රාර්ථනා කළා ය. මිලාන හීනයන්ගෙන් මිරිකී තැවි තැවී සසැලෙමින් උත්තරා ගිහන්සගේ හද ගැස්ම ව බැඳුණා ය; රැඳුණා ය.


නිදිවරන අහසක එක ම එක ප්‍රාර්ථනාමය එළියක් වළාකුළකින් මිදී මතු වෙමින් ය. උත්තරා ගිහන්ස සමග රෝහල්ගත ව ගෙවන හත්වන රාත්‍රියත් එළැඹෙමින් ය. මැදියම් රැයත් ඉක්ම ගොස් දොහෝරාවකි. රාත්‍රී තරු ඇස් දැල්වෙයි. රාත්‍රිය නො තරම් තරම් ශූන්‍යයි. රෝහල් කාමරයේ සිටින්නේ උත්තරාත් ගිහන්සත් පමණි. ගිහන්ස ව මෙලොවට බැඳ තබන යන්ත්‍රය පමණක් රිද්මයානුකූලව නද දෙයි.
“ගිහන්ස ඇයි අපිට මෙහෙම වුණේ? අපි කොච්චර ආදරෙන් හිටියද? මගෙන් මොකද්ද වුණ වැරැද්ද ඔයාට. මේ තරම් මට රිද්දන්න. ඔයා එක වචනයක් කතා කරන්නකෝ මාත් එක්ක. දැන් ඔහොම හිටියා ඇති අනේ. ඔයාට මං ගැන දුක නැද්ද?”
උත්තරා මොන දේ කීවත් මොන දේ ඇසුවත් කිසි ම විටක ගිහන්ස ප්‍රත්‍යුත්තර නො දුන්නේ ය. ඔහු සිහිනයක අතරමං ව ඈස් වසාගෙන සිටියේ ය. උත්තරාගේ බවලත් දුක බලවත් විය. රෝහලේ ගත වූ දින හතක් පුරා ගිහන්ස උත්තරාට ආදරෙයි’ කිව්වේ මේ යන්ත්‍ර නාදයෙනි. ගෙවුණු ප්‍රේමණීය හැම මොහොතක් ම ආදර කාලයට අයත් ය. ගිහන්සගේ ගිලාන සමයෙහි නො කඩවා නිදි වැරූ උත්තරා දැන් දැන් අරුණු හිරු ළඟ පිනි බිඳකි.


“ඔයා දැන් දවස් කීයක් තිස්සෙ මෙහෙම ඉන්නවද? මට තේරෙන්නෙ නෑ ගිහන්ස, ඔයාට තව කොච්චර කාලයක් දුක් විඳින්න තියෙනවාද කියලා. මං කොහොමද ඔයා මෙහෙම දුක් විඳනවා බලන් ඉන්නෙ? ගිහන්ස, ඇයි ඔයා මට මෙහෙම දුක් දෙන්නෙ? මම මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නෙ ”
ගිහන්ස වෙනුවට ඔහුට පණ පොවන යන්ත්‍රය පමණක් එළැඹ සිටි සිහියෙන් සිටියේ ය. මිනිස් හැඟීමකට නිවැරදි ප්‍රත්‍යුත්තරයක් දෙන්නට යන්ත්‍රයකට නො හැකි ය. උත්තරාගේ නෙතින් කඳුළු ද සිතින් දුක් ද ගතින් ඩාත් ද වැගිරුණේ ය. උට්ඨානගත සිතුවිලි කිහිපයක් එකට තබා පොඳි බැඳ ඈ සුසුමක් දැල්වූවා ය. හද පත්ලේ ගැඹුරු ම තැන විශ්වාසයේ පහන් සිළුව රැදෙව්වා ය.


“බබා. මට අපේ ෆර්ස්ට් නයිට් එක මතක් වෙනවා. මං උදේ ඉඳන් ම අර බර සාරිය ඇඳන් ඉඳලා තෙහෙට්ටුවට ඇඳට වෙලා නිදගෙන ඉද්දි ඔයා මගේ දිහා බලන් හිටියෙත් මේ වගේමයි. අද ඔයාට ජීවත් වෙලා තෙහෙට්ටුවට ඔය ඇඳේ නිදාගෙන ඉන්නකොට මමත් එදා ඔයා හිටි විදියට ම අද ඔයාගෙ දිහා බලන් ඉන්නවා. එදා රෑ මට කවදාවත් අමතක වෙන්නෙ නැති රැයක්ග”


උත්තරා හිටි පියවරින් මිදී සෙමින් සෙමින් අඩි තබා ගිහන්ස වැද හොවන සුසුදු සුසුනිදු සයනය අසලට’විත් ඔහු දෙස බලා සිටියා ය. මඳක් විවර වූ මුඛයත් දෑස් දෙකත් පණ අදිමින් පණ ලබන බව වේදනාවෙන් බලා සිටියා ය.
“මං ආදරය කරන හැමෝම මාව ඉක්මනට දාලා යනවා. මේක මගේ කරුමයක්. මං කොහොමද ඔයා නැතුව මේ ලෝකේ තනියම ජීවත් වෙන්නෙ? මගේ ළඟින් ඔයා කොහොමහරි ඉන්නවා නම් ඒ ඇති. එතකොට මට තනියක් නෑ.”
උත්තරා කුඩා අවදියේ දී අම්මාත් තාත්තාත් නුගේගොඩ නෝලිමිට් බෝම්බයට හසුව රෝහලේ පණ අදිමින් සිටි මතකය උත්තරාගෙ මසැසේ කේශනාලිකාවක් පුපුරවමින් ඇදී ගියේ ය. අම්මාත් තාත්තාත් නැති ව හුන් ඈට එක ම පිළිසරණ වූ ගිහන්ස ද දැන් මරණාසන්න ව ය.

සියලු ඛේදයේ නිසි නො නිසි අනිසි විපාක සමසිතින් විඳ දරාගත යුතු ව ඇත. තනි තනි ව එකට සිටීමට පුරුදු පුහුණු විය යුතු ය. ඒ සියල්ල සෙමින් උගත යුතු ය. උත්තරා ගිහන්සගේ පපුවේ හිස හොවා හද ගැහෙන නාදය අසා සිටියා ය. කඳුළෙන් ඔහු හද තෙත් කළා ය.
“මගේ වැරැද්ද ගිහන්ස, ඔයාට අසනීප වෙද්දි මීට වඩා හොයලා බලන්න තිබුණා. අන්තිමට ඔයා මටත් කියන්නෙ නැතුව ඔක්කෝම කරගෙන. ඔයා දුක් විඳින්නෙ මං හින්දා. ඔයාගෙ අම්මා හරි. මම තමා ඔයාව මේ තත්ත්වෙට පත් කළේ. ඔයා ලෙඬේ ගැන පහු වෙලා කියද්දි හරි මට බල කරලා බෙහෙත් ගන්න එක්කන් යන්න තිබ්බා. ඒත් මං එහෙමවත් කළේ නෑනේ”


අනන්ත ස්නේහයෙන් පිළියම් කරමින් ජීවිත කාලයේ ම බලා ගැනීමට ගිවිස ගත්ත ද එය තමාගෙන් ගිලිහුණු බව උත්තරා මෙනෙහි කළා යග රම්‍යා සමරදිවාකරගේ හැසිරීමෙන් වේදනාවට පත් ව සිටි උත්තරාට සිය සැමියාගේ අවසන් කැමැත්ත ද සීරුවට මෙනෙහි වූවා ය.
“උත්තරාල ඔයා එකක් මතක තියා ගන්න. ඔයා මාව මරන්නෙ නෑ. මමයි ඔයාට කියලා මැරෙන්නෙ. ඒ නිසා ඔයාට කිසි ම පවක් වෙන්නෙ නෑ. අනික ඔයාගෙ හදවතින් දන්නවා මෙතන මොකක් ද වෙන්නෙ කියලා. ඔයා මට කවදාවත් මිනීමරුවෙක් නෙමෙයි. ඔයා තමයි හැමදා ම මගේ ජීවිතේ. ඒ නිසා ඔයාට මතක් වෙන පළමු මොහොතෙදිම බය නැතුව මාව මේ ලෝකෙන් නිදහස් කරන්න.”

ගිහන්සගේ දෝංකාරමය පෙර වචන මේ පාළු කුටිය අභ්‍යන්තරයෙහි රැව් පිළි රැව් දෙන්නාක් බඳු විය. හද බැමි සිඳී ගියාක් මෙන් ඈ ගිහන්ස නිදමින් පණ යදින යහන දෙස බැලුවා ය. වරදකාරී හෘදය සාක්ෂ්‍යක ගැලවුම්කාර මිනිසාගේ සදානන්දය උදෙසා තමා කැපවිය යුතු බව ඈ සිතුවා ය. කරන්නට කිසිවක් ම නැත. හුස්ම පවා නො සංසුන් ය. සස්වාමික භාර්යාව වැන්දඹුවක් විය යුතු ය. උත්තරා ඇහි පිය වසා තීරණය කළා ය.
“මට මේකෙන් කිසි ම ගැලවීමක් නෑ. මං දන්නවා මේක වැරැද්දක්. මේ වැරැද්ද හරි ගස්සන්නෙ කොහොමද කියලත් මං දන්නවා. ගිහන්ස, ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බෙයි.”
ඒ ගැඹුරු මොහොත එළැඹිණ.
“බබා අයිම් සොරී. අයි ලව් යූ ෆොරෙවර්. වි විල් මිස් යූ ගිහන්ස”


උත්තරා ගිහන්සගේ මුව උඩට පාත් වී ඇසෙන නෑසෙන තරම් හඬින් කිවා ය. අවසන්වරට ගිහන්සගේ නම උච්චාරණය කළා ය. පසු ව ගිහන්සගේ ඔක්සිජන් ආධාරකය ඉවත් කළා ය.
ගිහන්ස කිහිපවරක් ගැස්සුණේ ය. ඔහුගේ දෙපා ඇඹරිණ. දෙඅත් දැඩි විය. ඇඟිලි වක් විය. දෑස් සුදු පෑ විය. මුව බොහෝ සෙයින් විවර ව අවසන් හුස්ම පොද උත්තරාගෙන් යැද්දේ ය. උත්තරා පියවරක් පසුපසට වූවා ය. ගිහන්සගේ පපුව ඉස්සී ගැස්සී තිගැස්සී උත්තරාගේ හද සසල කළේ ය. දෙසිත ම එක ම සමාධිගත මොහොතක් බලාපොරොත්තු විය. ඉක්මන්කාර ගිහන්සල උත්තරා සිතුවාටත් කලින් සමාධිගත විය. එකවර ම යන්ත්‍රයේ නින්නාදය නැවතිණ.
ගිහන්සගේ අංශුමය ආත්මය විශ්වයට මුසු විය.
උත්තරා ගිහන්සගෙ නළලෙහි හාදුවක් තබා ඔහුගේ ඇස් වැසුවා ය.

Rtr. Sasantha Indrajith

+ posts

Leave a Reply