You are currently viewing මිනිස්කම කෝ මිනිසුනේ

මිනිස්කම කෝ මිනිසුනේ

ලොවකි අරුමැති වෙසෙන මිනිසුන් උගත් නැණවත් ඒලොවේ
සමාජය හරි දියුණුයිලු අද ඇතිලු ජයගෙන සක්වලේ
දියුණු වෙන්නට හීන පුරමින් දුවති ෆැන්ටසි ලෝකයේ
මොහොතකට නැවතී බලන් අද මිනිස්කම කෝ මිනිසුනේ

කුරිරු මැරකම් පිරුණු වංචා ලොවක රජයයි භීෂණේ
වෛර ඊර්ෂ්‍යා පිරී සිත්තුළ කරුණාව කිම නොදැනුනේ
දරා ආයුධ උනුන් නසමින් නගයි ජයගොස දියුණුවේ
අනුන් පරදා ගෙනෙන සැපතක් දෙයිද සැනසුම ජීවිතේ

මහළු මව්පියො තනිව වැළපෙයි පාළු වැඩිහිටි නිවාසේ
දරා දසමස වැදූ දරුවන් අතරමං වී කුණුගොඩේ
මරා ගන්නේ මායිමට වැට සොහොයුරන් එක අම්මගේ
එදා ආලෙන් වෙලී සුරැකුණු පවුල් කෝ අද දෙවියනේ

රුවට පෙනුමට මුලාවී ප්‍රේමය සොයාගොස් රාගයේ
කාමරේ තුළ පහස සොයමින් කාසියට විකුණයි රුවේ
කාමයට නම් අත වනයි උන් තුන් හිතක නෑ ස්නේහයේ
බැඳීමක අරුතක් නොදන්නේ ඉතින් කෝ අද ආදරේ

මිනිස්කම නැති ලොවක් තුළ අප වෙළී ඇත අද ගනඳුරේ
දරා වල්මත් සිත් සතන් සැම දුවයි හැල්මේ රිසිලෙසේ
අධර්මය රජයන ලොවක් තුළ නොමැත සරණක් කිසිලෙසේ
එලොව නිවනට වඩිනු මැන යළි දෙවියනේ බුදු සමිඳුනේ

Co- director, Special Events : Rtr. Mihiravi Gunasekara

Leave a Reply