You are currently viewing Online වෙසක් බැති ගී සරණිය.

Online වෙසක් බැති ගී සරණිය.

සිල් සුවඳ හැමුනා දම් සුවඳ හැමුනා
සමිඳු තෙමඟුල අසිරි සිත පිරුණා
සිත් පුරා දැනුණා දම් සරණ දැනුණා
වෙසඟෙ ආසිරි දස දෙසම ඇදුණා..

සිදුහත් කුමාරෝත්පත්ති, සිද්ධාර්ථ තවුසානන් බුද්ධත්වය ලැබීම සහ බුදුරජාණන් වහන්සේගේ පිරිණිවන් පෑම යන උතුම් වූ තෙමගුල සිහිපත් කරමින් සකල ලෝක වාසී ජනයා ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වන එම වෙසක් සතිය තවත් අර්ථාන්විත කරලමින් ලෝ දනන් සිත් සනහාලන්නට අපට හැකිනම් එය කෙතරම් අගනේද?
වෙසක් සඳේ සිසිලෙන් නැහැවුණු ඒ සුන්දර සැන්දෑවේ බොදු ගුණ පෙරදැරි කරගෙන, සදහම් ගීතයක සිත සනහාලන නිරාමිස රසය ගෙනහැර පෑමටයි කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ අප සූදානම් වූයේ. ඒ ලයාන්විත මෙන්ම අර්ථවාන්විත බොදු බැති ගී ගායනා කරමින් අපගේ වෙසක් බැති ගී සරණිය ඉදිරිපත් කරමින්ය.

අපගේ වෙසක් බැති ගී සරණිය මෙවර නවමු සංකල්පයක් ඔස්සේ වෙනස්ම මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට අප අදහස් කළේ, රටේ පවතින හදිසි තත්වය හේතුවෙන් සජීවී බැති ගී ප්‍රසංගයක් පැවැත්වීම සැබැවින්ම අභියෝගයක් වූ බැවිනි. ඒ අනුව අප විසින් බැති ගී ගයන වීඩියෝ දර්ශන පටිගතකර, zoom තාක්ෂණය ඔස්සේ සජීවී ලෙස මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කිරීමට අපි අදහස් කළෙමු. විශේෂත්වය නම් සියළු දෙනා සිය ගායන ඉදිරිපත් කළේ නිවෙස්වල සිට වීමයි. ඒ අනුව නව්‍යකරණයෙන් හැඩවුණු අති සාර්තක වෙසක් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමට අපට හැකි වුණි.


මෙලෙස අපගේ වෙසක් බැති ගී සරණිය සාර්ථක කර ගැනීමේ මූලික හේතුව අපගේ උද්යෝගිමත් පෙර සූදානම බව සැබෑය. මේ අයුරින් මාර්ගගත වෙසක් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමේ අදහස මුලින්ම ඉදිරිපත් කළේ අපගේ විධායක කමිටුවේ සාමාජිකයන් විසිනි. අපේ නිලධාරී මඬුල්ලේ සිටින ගායනයට මෙන්ම වාදනයට කවදත් ඇලුම් කරන අපේම සොයුරු සොයුරියන් කිහිප දෙනෙක් එක්වී මෙම අදහස යථාර්තයක් කිරීමේ කටයුත්තට වහා මුල පුරණ ලදි. විශේෂත්වය නම් අපේම සොයුරු සොයුරියන් අතින් ලියැවී සංගීත මුසුවුණු බැති ගී ද අපගේ වෙසක් බැති ගී සරණිය හැඩ කිරීමයි. ඒ අනුව Sports & Entertainment Avenue හා Club Services Avenue හි අපේ සොයුරු සොයුරියන් එක්වී එම කර්තව්‍යය සංවිධානය කිරීමේ මූලික වගකීම මැනවින් ඉටු කරන ලදි. නිවසේ සිටම ගායනා කිරීමට මාර්ගගත ක්‍රමයට අප පැවැත්වූ පෙර පුහුණු වාරයන්ද ඉතා රසවත් වූයේ කවදත් විහිළු තහළු පෙරදැරි කරගත් අපේම සොයුරු සොයුරියන් නිසාවෙනි.

වර්ෂ 2020ක් වූ වෙසක් මස 08 වන දින රාත්‍රි 7.00 සිට පුරා පැයක පමණ කාලයක් සජීවී ලෙස අපගේ වෙසක් බැති ගී ප්‍රසංගය පැවැත්විනි. වෙසක් බැති ගී සරණිය මෙහෙයවමින් එහි මූලිකත්වය ගෙන කටයුතු කළ අපගේ කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ සුපුන් විදුරංග සොයුරාටත්, ඉදිරිපත් කරමින් සහය දැක්වූ තුෂිනි අෂාරා සොයුරියටත් අපගේ හදපිරි ස්තුතිය පුදමු.
අපගේ බැති ගී සරණිය ඇරඹුණේ සෝමතිලක ජයමහ ශූරීන්ගේ බුදු පියාණනේ.. ගීතය කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ අපේම සොයුරු සොයුරියන්ගේ හඬින් ඉදිරිපත් කරමින්ය. විශාරද නන්දා මාලනීයන්ගේ හඬින් ගැයෙන බුද්ධානු භාවේන.. ගීතය, සමිතා මුදුන්කොටුව විසින් ගායනා කරන තිලො අග රාජා.. ගීතය, පණ්ඩිත් අමරදේවයන් එදා ගායනා කල ඇසේ මතු වන කඳුළු බිඳු ගෙන.. ගීතය, සෝමතිලක ජයමහ ශූරීන්ගේ දස බිම්බර මාර සෙනග…ගීතය, මධුමාධව අරවින්ද විසින් ගායනා කරන ලඹ සවන් රන් පටින්..ගීතය යනාදී සුන්දර ගීත රැසකින් අපේ ප්‍රසංගය හැඩ කිරීමට අපේම සොයුරු සොයුරියන් සමත් විණි. අපගේ වෙසක් බැති ගී සරණිය අපට තවත් සුවිශේෂී වූයේ අප රොටරැක්ට් සංගමයේ මිහිරාවි ගුණසේකර සහෝදරියගේ පද රචනයනයෙන් හා ලක්මාල් පෙරේරා සොයුරාගේ
තනුවකින් හැඩවී නිර්මාණය වූ වෙසගේ ආසිරි.. ගීතය නිසාවෙනි.

අපගේ වෙසක් බැති ගී සරණියේ මිහිර විඳින්නට අපත් සමඟ බොහෝ පිරිසක් එකතු වී සිටි බව නම් සැබෑය. එලෙස අපත් සමඟින් එක්වී අප දිරිමත් කළ කැලණිය විශ්වවිද්‍යාලයීය රොටරැක්ට් සමාජයේ අපේම සොයුරු සොයුරියන් මෙන්ම සහෝදර රොටරැක්ට් සමාජයන්හි අපේ මිතුරන්ද හටද අපගේ හදපිරි ස්තුතිය පිරිනමමු. ඔවුන්ගෙන් ලද වටිනා විවරණයන් සැබැවින්ම අපට මහඟු රුකුලක් වූ බව කිව යුතුමය. ඵල දරන වෘක්ෂයක් දරා සිටින මුදුන් මූල පද්ධතිය මෙන් අප රොටරැක්ට් සමාජයේ කශේරුව නම් ඔවුන්මය. අප සමාජයේ සෑම කටයුත්තකටම නිති අත හිත දෙනවා මෙන් මෙවරද මේ අයුරින් මාර්ගගත වෙසක් බැති ගී ප්‍රසංගයක් පැවැත්වීමේ අදහස මුලින්ම අප වෙත ඉදිරිපත් කළ අපගේ විධායක කමිටුවේ සාමාජිකයන් වෙතද අපගේ ස්තුතිය පුදමු. එසේම ගීත ගායනයෙන්, පද රචනයෙන් හා තනු නිර්මාණයෙන් සහය වුණු නිපුන, ලක්මාල්, නෙන්මි, තරුෂි, මිහිරාවි, සුසෑන්, රවින්දි, සුපුන් ඇතුළු සියළු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටිමු.

ඉදින් අපි සියලු දෙනා එකතු වී එදා මුලු ලොවම ඒකාලෝකමත් කරමින් උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අකාලික පණිවිඩය අපට කියාදුන් අප බුදු සමිඳුන්ගේ අනන්ත ගුණ සමුදාය එසේ සිහිපත් කළෙමු. අවසන් වශයෙන් අපගේ වෙසක් බැති ගී සරණිය සාර්ථක කර ගැනීමට සහය දුන් සැමට අපගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමු.

Co-director Special events: Rtr. Mihiravi Gunasekara

Leave a Reply