You are currently viewing හිමිවුණු අහිමිවීමක් නමුදු අපරාජිත ජීවිතයක්.

හිමිවුණු අහිමිවීමක් නමුදු අපරාජිත ජීවිතයක්.

“මම අන්ධ නිසා මට අන් අයව කොපි කරන්න බැහැ”

ඔබ කවදා හෝ කොපි කර තිබෙනවද?  අන් අයගේ පිළිතුරු, අදහස්, නිර්මාණ? ඔබේ පිළිතුර ‘ඔව්’ විය හැකිය. නැතිනම් ‘නැත’ විය හැකිය. ‘ඔව්’ යන පිළිතුර ඇත්නම් ඔබ ටිකක් හිතන්න. අන් අය කොපි කිරීමට ඔබට දෑසක් නොවුනානම් ? ඔබ අන්ධ වූවා නම් ? එතනින් පසු ඔබට කුමක් සිදුවේද ? ජීවිතය තුළ අලුතින් හිතන්නට පුරුදු වන්න, අලුතින් දකින්නට උත්සාහ ගන්න. පරිකල්පනය තුළින් අපූර්ව වස්තුවක් නිර්මාණය කිරීමට වෙහෙසෙන්න. ඔබ එය පුහුණු කරන්නේ නම්, ජීවිතය තුළ ‘හිමිවන අහිමිවීම්’ ඔබට ආශිර්වාදයක් වීම කිසිවෙකුට වැළැක්විය නොහැක.

මේ කතාව ‘හිමිවුණු අහිමි වීමට’ අභියෝගයක් වූ ඇගේ කතාවයි. 2000 වර්ෂයේ මුල් භාගයේ ලංකාවේ, රාජගිරිය ප්‍රදේශයට ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණි. ජීවිත 46කට තමන්ගේ අවසන් හුස්ම හෙලන්නට සිදු වූ අතරම තවත් බොහෝ දෙනෙකුට තුවාල සිදු වුණි. මේ බොහෝ දෙනා අතර සිටි එක් සුන්දර යුවතියකට තමන්ගේ දෙනෙත අහිමි විය. එතැන් සිට ඇය අන්ධකාරය තුළින් ආලෝකය දෙසට පිය මනින්නට උත්සහ දරුවා ය. ඇය, නයනා ආශ්චර්යා පීරිස් ජයකොඩි මහත්මියයි.

මේ ලෝකය තුළ ජීවිත වික්‍රමයන් සහ වික්‍රමාන්විත ජීවිත ඇත. දෑස් අහිමි වූ දා සිට ඇයගේ ජීවිතය ද වික්‍රමාන්විත ජීවිතයක් වුණි. සොම්නසින් යුතු අනාගතයක් හෝ වර්තමානයත් ගැන සිතිය නොහැකි මොහොතක දී ඇය ජීවත් වීම සනාථ කිරීමට අවශ්‍ය හරයකින් තමන්ගේ ජීවිතය  පුරවා ගැනීමට පිඹුරුපත් සැකසුවාය. එය සැබැවින්ම අසීරුය. නමුදු ඇය එය ක්‍රියාවේ යෙදෙව්වා ය. අවසන ඇය විසින් තමන්ගේ අනාගතය සොම්නසින් පුරවා ගනු ලැබීය.

තමන්ගේ දෑස් අහිමි වීම සමඟ එතෙක් ඇයට තම සේවය සැපයූ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවද අහිමි විය. වෘත්තීමය ජීවිතය පමණක් නොව තමන්ගේ පවුලේ සාමාජිකයින්, හිතමිතුරන්, නෑදෑයින් පවා ඇයට ඔවුන්ගේ සහයෝගය අවශ්‍යම මොහොතේ ඇය ව ප්‍රතික්ෂේප කරන්නට විය. මෙලොව විශ්වාසය  තැබිය හැකි එකම පිරිසත් ඇයට අහිමිවන විට ඇය තමන්ගේ දුෂ්කර ජීවිතයට තමා විසින්ම මුහුණදීමට අධිෂ්ඨාන කරගත්තා ය. වානේ පන්නරය ලබන්නේ ගින්නෙන් රත් වී වහාම දැඩි සීතලට හසු වූ විට ය. විපතේ දී ශක්තිමත් වීමට මිනිස් ජීවිත පන්නරය ලබන්නේ ද අලස වූත්, නීරස වූත් අභියෝග බාධක රහිත මගකදී නොව ය. එසේ හෙයින් ඇය තමන්ට හිමි වූ අභියෝග සහිත මග තෝරා ගත්තාය.

තමන් සතුව මුදල් වත්කම් පැවතියද දෑස් නොපෙනීම හේතු කර ගනිමින්, තමන්ගේ ව්‍යාපාරයට ණය ආධාර මුදලක් හෝ ලබා දීම බැංකු මගින් ප්‍රතික්ෂේප කළ මොහොතක, ඇය තමන්ට සහජයෙන් ලැබුණු නිර්මාණශීලී චින්තනය ප්‍රයෝජනයට ගන්නට සැරසුණි. දෑස් නොපෙනීමට පෙර ඇගේ සිතෙහි මතකයන් තුල රැඳි වර්ණ, හැඩ, රටා ඇය ව මෝස්තර නිර්මාණ කලාව වෙත රැගෙන යන්නට විය .

ඇයගේ ඒ දුෂ්කර චාරිකාව ඇයව ජාත්‍යන්තර කීර්තියට පත් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් දක්වා කැඳවාගෙන යනු ලැබීය.  2017 වර්ෂයේ දී ඇය වඩාත්ම කැපී පෙනෙන කාන්තාවන් දස දෙනා අතරට ජාතික මට්ටමින් තේරී පත්වුණි. අනතුරුව 2019 වර්ෂයේ දී ලෝ ප්‍රකට බී.බී.සී. පුවත් සේවය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලපෑම් සහගත සහ පෙළඹවීම් සහගත කාන්තාවන් 100 දෙනා අතරට තේරී පත් එකම ශ්‍රී ලාංකිකයා වූයේ ඇයයි. ඇයට ඇත්තේ ඇගේ ජීවන අරගලයේ ප්‍රායෝගික දෘෂ්ටියයි. එහෙයින් ඇය තමන්ගේ අරගලය තුළ අනෙකා අමතක නොකළ කාන්තාවකි. එනම් මේ වන විට තම අත්දැකීමෙන් ලද ජීවන දෘෂ්ටිය ඇය තරුණ තරුණියන්ගේ පෞරුෂය සංවර්ධනයට, ආයතනික හා නායකත්ව පුහුණුව ලබා දීමට යොදා ගනී. කාන්තාවක් ලෙස ඇය තවත් පසෙකින් සාර්ථක ය. ඇය තම වෘත්තිමය ජීවිතය ජයගත්තා සේම තමන්ගේ කුටුම්භ ජීවිතයද ඒ සමග සමබර කරගෙන ඇත. ඇය ජාතියටත් ජාත්‍යන්තරයටත් සාර්ථක ව්‍යවසායිකාවකි; මෝස්තර නිර්මාණ ශිල්පිනියකි; ධනාත්මක චින්තකයෙකි. අනෙක් අතට ඇය තම පවුලට ආදරණීය බිරිඳකි; මවකි; ගෘහණියකි; මිතුරියකි.

“මම අන්ධ නිසා මට අන් අයව කොපි කරන්නට බැහැ.” ඒ ඇගේ වචනයි. සොබාදහමෙන් ඇයට අහිමි වූ දෙය, ජීවිතයට බොහෝ දේ හිමිකර ගැනීමට, ඇය ආශිර්වාදයක් කරගෙන ඇත. ජීවත්වීම සනාථ කිරීමට ඇය ජීවිතය හරයකින් පුරවාලීම අරමුණු කර ගත්තාය. ‘ආශ්චර්යා පීරිස්’ ඇය සැබැවින්ම සැබෑ ආශ්චර්යමත් කාන්තාවකි.

written by Rtr. සත්‍යා තත්සරණි රත්නායක- Team I. Rota tomorrow

This Post Has 3 Comments

  1. Sandani Withanage

    ඉතාමත් හොඳ ලිපියක්!

  2. Sathya

    ❤️❤️

  3. Sashini Weerasinghe

    woow.well done sathya 💖☺

Leave a Reply