You are currently viewing සමාජ භිතීකාව සහ උපාධි අපේක්ෂකයා

සමාජ භිතීකාව සහ උපාධි අපේක්ෂකයා

යම්කිසි දෙයක් හෝ අවස්ථාවක් කෙරෙහි දක්වන අසාමාන්‍ය අධික බිය නිසා ඒවා මඟ හැරීම භීතිකාව (Phobia) ලෙස හඳුන්වයි. ග්‍රීක භාෂාවෙන් Phobos යන වචනයෙන් බිදීවිත් ඉංග්‍රීසී භාෂාවේදී “Phobia” යන වචනය නිර්මාණය වී ඇත. “ලැජ්ජාව සහ බිය” කාටත් දැනෙන මානසික තත්ත්වයකි. “සමාජ භීතිකාව” යනු පුද්ගලයෙක් සමාජශීලී වන විට ඒ අවස්ථාවේදී සිතට යම් චකිතයක් ඇතිවීමයි. මෙය සාමාන්‍ය ලැජ්ජාවක් නොවන අතර එය මනෝ විද්‍යාව තුළින් සොයාගෙන තිබෙන අසනීප තත්ත්වයකි. මෙයට ජානමය සහ පාරිසරික හේතු යන දෙකම බලපායි.  ‍

පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරා උපාධි සිහිනය යථාර්තයක් කර ගැනීමට මග බලා සිටින පිරිස උපාධි අපේක්ෂකයන් ලෙස හැදින්විය හැකිය. උපාධි අපේක්ෂකයන් අතර “සමාජ භීතිකාව” නම් මානසික රෝගය වැඩි වශයෙන් පැවතීමට හේතූන් පහත පරිදි පෙන්වාදිය හැකිය.

‍කුඩා කාලයේදී ලැජ්ජාව-බිය වැඩිවශයෙන් පවත්වා ගනිමින් පවුල තුළ ම අසීමාන්තික ලෙස හැදීවැඩී විශ්වවිද්‍යාලයට පැමිණිවිට පවුලෙන් වෙන් වී විශාල මිනිස් සමූහයක් සමඟ කටයුතු කිරීමට සිදුවීම නිසා මෙම තත්ත්වය ඇති වේ.

කොව්ඩ්-19 වසංගතයත් සමඟ ඔන්ලයින් අධ්‍යාපනයට මුහුණදීමෙන් සමාජය තුළ පවතින අන්තර්ක්‍රියාකාරීත්වය අවම වීමත් සමඟ පිරිසක් ඉදිරියට ගොස්  කතා කිරීමේ අවස්ථාව මග හැරී තිබීමත්,  පසුව විශ්වවිද්‍යාලය තුළදීම ඉගෙන ගැනීමේදී පිරිසක් ඉදිරියට ගොස් කතා කරන්න සිදු වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය වීම.

ඔන්ලයින් ක්‍රමයේදී ප්‍රශ්නයක් ඇසූ විට කවුරුන් හෝ පිළිතුරක් ලබා දුන්න ද විශ්වවිද්‍යාලය තුළට ගොස් ඉගෙන ගැනීමේ දී තමාගෙන් ම ප්‍රශ්න ඇසූවිට පිළිතුරු දීමට සිදු වේ. එහි දී පිළිතුරක් ලබා දීමට නොහැකි වූ විට අනෙකුත් පිරිස කුමක් සිතන්නට ඇති දැයි දැඩි බියක් හා ලැජ්ජාවක් ඇති වීම.

විශ්වවිද්‍යාලයට නොගිය සම වයස් පිරිස දියුණු වී සිටින ආකාරය දුටු විට “තමා දියුණු වී නැතැයි” සිතා ආත්මඅනුකම්පාවක් ඇති කරගැනීමත්, එහි දී සමාජය විසින් තමාගේ ජීවිතය පිළිබඳ අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකි නිසා මෙම තත්ත්වය ඇති වීම.

විවිධ දක්ෂතාවයන්වලින් පිරිපුන් පිරිසක් හමුවීමත්, තමන් තුළ පවතින දක්ෂතා පිළිබඳ අවබෝධය නොමැතිකම නිසා “තමා කිසිම දෙයකට දක්ෂ නැත” යන මතය තුළ සිට සමාජයෙන් සැඟවීමට උත්සාහ ගැනීම. ආදිය මෙයට හේතූන් වේ.

“සමාජ භීතිකා” තත්ත්වයන් සඳහා ඖෂධ ප්‍රතිකාරයන් සේම ද මනෝ චිකිත්සක ප්‍රතිකාර ද ලබා දිය හැකිය.  උපාධි අපේක්ෂකයා යනු, අනාගත පරපුර ආරක්ෂා කරන්නට සිටින වටින කණ්ඩායමක් වන බැවින් ඔවුන් මෙවැනි තත්ත්වයන්ට ගොදුරු වීම වළක්වා ගැනීම සියලු දෙනාගේ වගකීමකි.

Leave a Reply