You are currently viewing Sir – A movie review

Sir – A movie review

Is Love enough Sir?

ආදරය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. එක් එක් පුද්ගලයාට අනුව ආදරය කරන විදිහ, ආදරය විඳින විදිහ වෙනස් වෙනවා. ඒ නිසාම වෙනස් ආරක ආදරයක් දකින්න මිනිස්සු හරි කැමතියි. 2018 වර්ෂයේ දී Sir  නමින් තිරගතවන හින්දි චිත්‍රපටයත් අන්න එහෙම එකක්. හින්දි චිත්‍රපටයක් කියපු සැනින් මැවෙන ලස්සන නළුවෙක් නිලියක්, දැකුම්කළු පරිසර, නැටුම් ගැයුම් වගේ අපිව වෙනම ම ලෝකෙකට අරන් යන සුන්දර දේවල් මේ චිත්‍රපටයෙ නම් නෑ. ඒ මවාපාන සුන්දරත්වයෙන් මිදිලා ජීවිතයේ යතාර්ථවත් පැතිකඩ පෙන්වන, මහ පොලොවෙ පය ගැසූ ආදර කතාවක් දිගහැරෙන ලස්සන නිර්මාණයත් විදිහට Sir චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය, රත්නා පිටිසර ගම්බද පරිසරයක තරුණියක්. කුඩා කාලයේදී ම විවාහපත්වන ඇගේ ස්වාමිපුරුෂයා මාස හතරක් වැනි සුළු කාලයක් තුළ දී මියයනවා. ඉන්දියානු සංස්කෘතියේ කාන්තාවනට හිමි තැන කෙතරම් පහත් ද යන්න පෙන්වාදෙමින් රෝගී තත්වයකින් මිය ගිය ඇගේ සැමියාගේ මරණයට ද වගකිවයුත්තා ලෙස සමාජය දකින්නේ රත්නාවයි. ඒ නිසා ම ඇයට ගම්මුන්ගෙන් නොයෙක් අවලාද විඳීමට සිදුවෙයි. එයින් මිදීමේ අදහසිනුයි ඇය රකියාවක් සොයාගෙන නගරයට එන්නේ. එහිදී ඇයට ධනවත් නිවසක රැකියාවක් ලැබෙයි. ඒ මෙහකාරියක ලෙසයි. සමාජ පන්තිය කෙතරම් පහත් වුවත් ඇයට මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වීමේ හීනයක් තිබෙනවා . ඒ වගේ ම ඇයගේ නැගණිය අධ්‍යාපනයෙන් ඉදිරියට යැවීමට ද ඇයට අවශ්‍යයි. මේ නිසා ම සමාජ සම්මතයට අනුව මෙහෙකාර සේවය කෙතරම් පහත් රැකියාවක් වුවත් එය තමන්ගේ ජීවිතයට ත්‍යාගයක් ලෙස ඇය පිළිගනියි.

මුම්බායි නගරයේ සුඛෝපබෝගී නිවසක තනිව ජීවත්වන අශ්වින් ‌මෙහි එන ප්‍රධාන පිරිමි චරිතයයි. විවාහ වීමට සිටි තරුණියගේ රැවටීමට හසුව ජීවිතය පිළිබඳ කළකිරීමකින් පසුවන ඔහු බොහොම කඩවසම් වගේ ම ආචාරශීලී පුද්ගලයෙක්. රත්නා මෙහෙකාරකම් කරන්නේ අශ්වින්ගේ නිවසේ. ඔහු රත්නාට ද ඉතා කාරුණිකව සලකනවා. රත්නා ද තම රාජකාරිය අකුරටම ඉටු කිරීමට නිතරම වෙහෙසෙනවා.

අපේ ජීවිතයට සතුට ලැබෙන්නේ අපි හිතන ආකාරයට නොවෙයි. දුප්පත් අයෙක්  පොහොසත් මිනිස්සු නිතරම සතුටින් කියා සිතනවා වගේම පොහොසත් අයෙක් දුප්පත් මිනිස්සු සරල සුන්දර ජීවිතයක් ගත කියා සිතනවා. රත්නාත් තමන් Sir යැයි අමතන ධනවත් පුද්ගලයා සතුටින් ඉන්න බව සිතුවත් ඔහුගේ තිබුණ කළකිරීම දකිනවා. අවශ්‍යතාවක දී හැර ඔවුන් දෙදෙනා අතර වචන හුවමාරුවක් නොවුනත් වරෙක ඇය,

“සර්…අවුරුදු 19දී මං කනවැන්දුම් උනා. ගමේ නම් ඕකේ තේරුම මොකක්ද දන්නවද? ජීවිතේ ඉවර වුණා කියනවා. ඒත් අද මං මටම හම්බ කරගන්නවා….. ජීවිතේ එහෙම ඉවර වෙන්නේ නෑ, සර්.”

ලෙස අශ්වින් ලඟට ගොස් පවසන්නේ බැරිමතැනයි. නමුත් තම මෙහෙකාරිය තමන්ට උපදෙස් දීමට ආ එක ගැන ඔහු ඇයට බැනවදින්නේ නැහැ. ආචාරශීලීව ඇයට සවන් දෙයි. මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වීමට රත්නා තුළ ඇති ආශාව දකින ඔහු ඒ සඳහා ඇයට හරස් වන්නේ නැහැ. ඇයට උපකාර කරයි. වරෙක ලෝකයේ බොහෝ මෝස්තර නිර්මාණ ශිල්පීන් කියවන සඟරාවක් ද , වරෙක ඇය බොහෝ ප්‍රිය කළ මහන මැෂිමක් ද ඔහු ඇයට ගෙනත් දෙනවා. ඇයට ඒවාහි තිබුණු වටිනාකම ඇගේ අව්‍යාජ සිනාවත් සමඟ “ Thank you Sir ”ලෙස පවසන වචන දෙක තුන තුළින් හොඳින් පෙනෙනවා. එසේම වරෙක රත්නා ද සර් වෙත ත්‍යාගයක් ලබා දෙයි. ඒ තමත්ගෙ අතින් ම මැසූ ෂර්ට් එකක්, ඔහුගේ උපන්දිනයට. එය ඔහුගේ රුචිකත්වයට නොගැලපුනත් ඔහු එය රැකියාවටත් හැඳගෙන යනවා. එදා ඇය ලබන්නේ මහ අහින්සක සතුටක්.

ආදරය ගැන, ජීවිතය ගැන කලකිරුණු අශ්වින් තමන්ව තේරුම්ගන්න, තමන්ගෙ නිදහසට භාදාවක් නොවන, ශක්තිමත් වගේම පොළොවෙ පය ගැසූ තරුණියක් තම ඉදිරිපිටම සිටිනා බව ටිකෙන් ටික අවබෝධ කරගනියි. ස්වාමියා සහ සේවිකාව යන පරතරය සදාචාර සම්පන්න සීමාවකම පවත්වාගෙන ගියත් ක්‍රමයෙන් ඔවුන් දෙදෙනා තුළ නිර්මාණය වන සමීප බව තහනම් ආදරයකට පාර කපයි. අශ්වින් වැනි ඉහළ පන්තියක අයෙකු සමඟ තමා වැනි මෙහෙකාරියක ඇතිකරගන්නා සම්බන්දතාවය සතුටින් අවසන් නොවන බව රත්නා විසින් අශ්වින්ට පැහැදිලි කර දුන්න ද ජීවිතය පිළිබඳ බරක් පතලක්  නැති  අශ්වින් තමා වෙත දක්වන දැඩි ආලවන්තකම රත්නාට කෙසේවත් දරාතගත නොහැකියි. ඇය සියල්ලගෙන් ම අත්මිදී සැඟවෙන්න උත්සහ කරන්නේ ඒ නිසයි. දෙදෙනාම දෙදෙනා‌ගේ සමාජ තත්වය නමැති යදමෙන් සිරවෙලා. නමුත් අශ්වින් තම සැබෑ ආදරය වෙනුවෙන් ඇගේ සිහිනයට තටු දෙනවා.

එයට තුති පිදීමට නැවත සර් වෙත පැමිණෙන රත්නාට ඔහුව දැකගත හැකි වන්නේ නැහැ. ඒ වන විටත් ඔහු ඔහුව අයිති සමාජය වෙතට ම නැවත පියඹා ගොසින්. ඔහුව හමුවීමට ඈ තුළ තිබූ බලාපොරොත්තුව සුන් වෙලා. ඇය මහල් නිවාසයේ උඩු මහලේ මුළු මුම්බායි නගරය ම ‌පෙනෙන මානයේ.

රත්නාට අශ්වින්ගෙන් දුරකථනය ඇමතුමක්.

“හලෝ ..රත්නා!”

තමන් Sir යැයි අමතන පුද්ගලයා වෙත කිසිදාක නමින් කතානොකළ ඇය තුළ පිරී සිරවී තිබුණු ආලය දිගු සුසුමක් සමඟ පිටවෙනවා.

“අශ්වින්”

Written By : Rtr.Sandali Wijesinghe

Community Service Avenue

This Post Has One Comment

  1. Sahan17

    Seen this film before.accurate and good review
    Best of luck🔥

Leave a Reply