You are currently viewing වාසියට රැස් කන (මී)මැස්සෝ

වාසියට රැස් කන (මී)මැස්සෝ

Image courtesy: Google

ධර්මදාස මහතා…..
ඔහු ධනපතියෙකු වූ දානපතියෙක්.
දුකක් කොතනද එයට පිහිට වූ
ලතෙත් ඇත්තෙක්.
දානෙට, මළගමට
සැම දන හට
අත පුරා ,හිත පුරා
සේවය කළා.
පළාතේ මංගල්ලෙකට ඔහු ගිය ද,
ඔහු තනිකඩයෙක්,
වැන්දඹු මවගේ එකම පුතු වූ…..
…………………………………………….
මව මිය ගිය දා ඔහුට,
අනුග්‍රාහක දායකත්වය හැමතැනින්ම.
දෙමටගොඩ හන්දියේ සිට,
සිරිනිවාස ගෙදරට
කොඩි වැල්, මළගමට සැරසිලි,
නෙස්කැෆේ මැෂින් පහයි.
දින තුනට, වේල් තුනට
නන්දෙසින් බුෆේ සෙට්.
ඇති පදමට මත් වතුරත්.
මල් වඩම් චිතකය වැහෙන්න.
හොඳ හිත්
මිතුරු හිත්
පින් හිත්
ඒ තරමටම හත් දවසටත්,
තුන් මාසේටත්,
අවුරුද්දටත්.

සිත් සොවින් සිට මිය යයි,
ධර්මදාස මහතාත්
දෑ අවුරුද්දකින්.
ඔහුගේ මළගමට
නෙස්කැෆේ මැෂින් දෙකයි,
ගෙට හැරෙන තැනටත්,
පාලම් කොඩි ගේ ලඟටත්.
අල්ලපු ගෙවල් දෙකෙන්
වේල් තුනට කෑම යන්තමට.
ශෝක පණිවිඩ ටිකක්,
පාළුවට පැද්දෙන.
මල් වඩම් දෙක තුනක්,
වේළි වේළි නැහැනෙ.
අද නෑ ඒ හැටි
අනුග්‍රාහක භවතුන්.
හත් දවසට,
ඇති යන්තම් තුන් මාසෙට,
ඔහුගේම පොකට් එකෙන්
දානෙ වැඩ යන්තමට.

මලේ පැණි තියෙනකං
හැම මගුලටම මී මැස්සෝ…
මල පරවි මළ දාට,
එකෙක් නෑ මළගමට.
වාසි තියෙනකනකම්,
රැස් කන (මී)මැස්සෝ…

Rtr. සත්‍යා රත්නායක

Leave a Reply